රසායනික පොහොර තහනම වැරදියි…! ආණ්ඩුවේ කේවට්ටයින් ඊට වගකිව යුතුයි…! – කෘෂිකර්ම ලේකම්…

October 20, 2021 at 9:11 am | by emanisa.lk

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේ දී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුන්ට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හඳුන්වාදීම බව ද කීවේය.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්ත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාකච්ඡා කළ බවත් වර්තමාන ගැටලුව විසඳිය යුතු බවට ද එහි දී සාකච්ඡා වූ බවත් හෙතෙම කීවේය. විෂ සහිත පොහොර වෙනුවට ඉහළ ප්‍රමිතියකින් යුතු ජෛව පොහොර භාවිත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස