වැටුප් විෂමතාව ජවිපෙ හිඟන්නගේ තුවාලේ කරගත්තා…! විසඳුම ලැබුණු ගමන් ජයසිංහ වියරු වැටුණේ ඒකයි..! – උලපනේ සුමංගල හිමි…

November 13, 2021 at 7:40 am | by emanisa.lk

මහින්ද ජයසිංහලා සහ ජෝසප් ස්ටාලින්ලා ඔක්තෝබර් 25 දා සේවයට වාර්තා කර ගුරු සටන පාවා දුන්න ද තම සංගමය සටන පාවා නොදී ඉදිරියට ම ගෙන ගිය නිසා ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමට හැකි වූ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පවසති.

වැටුප් විෂමතාව පෙන්වා ගුරුවරුන් රවටා ගෙන කරගෙන ගිය ජීවන වෘත්තිය නැති වූ නිසා ඇති වූ විස්සෝපයෙන් ප්‍රකෝපයට පත්ව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවසානයේ ගුරුවරුන් සමඟ ගැටුමක් ඇති කර ගත් බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ මේ බව පැවසුවේ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන් කිහිපදෙනකු අතර පසුගියදා ඇති වූ ගැටුම පිළිබඳ අදහස් දක්වමිනි

‘‘අපි මේ ගැටුම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මොන තත්ත්වයක් යටතේ හෝ එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි. හේතුව ගුරුවරු සහ විදුහල්පතිවරු කියන්නේ රටේ පරමාදර්ශි පුද්ගලයෝ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සාහසික විදිහට හැම තැනම ප්‍රචණ්ඩත්වය මුදාහැර තිබෙනවා. අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙත්, වෙනත් බාහිර ආයතනවලත්, රාජ්‍ය ආයතනවලත් ඔවුන්ගේ වෘත්තීය සමිතිවල මතය නියෝජනය නොවනවා නම් අනෙක් අය ප්‍රතිවාදීන් හැටියට සලකා පහරදීමට තමයි තැත් කරන්නේ.

අවුරුදු 24ක් ජනතා විමුක්ති පෙරමුණ ජාවාරම්කාර විදිහට ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තමන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් මෙහෙයවූවා. ඒකට ජෝසප් ස්ටාලින්ලා හූ මිට තැබුවා. ඒ අය මෙහෙය වූ අරගලයෙන් ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් රුපියලකින්වත් වැඩි කර දෙන්න පුළුවන්කම ලැබුණේ නෑ. අපි තමයි මෙවර මැදිහත් වෙලා සටන අත්හරින්නේ නැතිව ඉදිරියට ගෙන ගියේ. ඒ අය කියනවා නම් ඒ අය තමයි සටන කැඳෙව්වේ, ඒ අය තමයි මේකෙ උරුමක්කාරයෝ කියලා අපි අහන්නේ 1997 සිට 2020 දක්වා අයවැය 23ක් එන තෙක් මොනවද මේ අය කළේ කියලා.

මේ අය මේක සූදුවක් බවට පත් කර ගෙන ඡන්දයක් කිට්ටු වෙනකොට ගුරුවරු පාරට බස්සලා, පෙළපාළි ගිහින් කුමන ආණ්ඩුව බලයේ සිටියත් ඒ ආණ්ඩුවට මේවා ඉදිරිපත් කරලා ඒක දේශපාලන වාසියට හරවා ගැනීමට තමයි උත්සාහ කළේ. මේ සැරෙත් ගුරුවරු පාරට බස්සලා 25 දා ඒ අයට පාසල් යන්න කියලා අවසානයේ සටන අත්හැරීම තමයි සිදු කළේ. හැබැයි අපි ඒක දිගටම කරගෙන ගියා.

වැටුප් විෂමතාව පෙන්වා ගුරුවරුන් රවටා ගෙන කළ ජීවන වෘත්තිය නැති වූ නිසා ඇති වූ විස්සෝපයෙන් ප්‍රකෝපයට පත්ව සිටි ආකාරය තමයි, එදා මහින්ද ජයසිංහගේ හැසිරීම වෙතින් නිරූපණය වුණේ. ඊළඟ අයවැය එන විට හෙට සිට ඒ අයට ඉදිරියට ගෙන යන්න සටන් පාඨයක් නෑ. මේ අය මොකක් කියලද ගුරුවරු ටික ආපහු පාරට ගන්නේ? එතකොට පවතින ආණ්ඩුවට මහජන විරෝධයක් තිබෙනවා කියලා බෝඩ් උස්සාගෙන කොයි හන්දියෙද ඒ අය තියන්නේ? මේ අය එක වෙලාවකට ගොවියා ගන්නවා සටනට. ඊළඟට ගුරුවරයා ගන්නවා. විදුහල්පතිවරයා ගන්නවා සටනට. ඕනෑම ආණ්ඩුවක් යටතේ පීඩිත බවට පත් වන මිනිසුන්ගේ ඒ පීඩනය මේ අයගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් පාවිච්චි කළා. දැන් ඒකට ගුරු – විදුහල්පතිවරු විශාල වශයෙන් සංවිධානය වුණා. ඒ නිසා මම හිතන්නේ ඒකට මුහුණ දී ගන්න ඒ අයට ආත්ම ශක්තියක් නැතුව තමයි ආවේග පිට වෙන්නේ.”

අවුරුදු 24ක් ගුරුවරුන් ඉල්ලා සිටි සම්පූර්ණ විසඳුම ලැබිලා නෑ කියලා අපි පිළිගන්නවා. නමුත් සෑහීමකට පත් විය යුතු ප්‍රමාණයක් ලැබුණා. සියයට 40ක් ලැබිලා තිබෙනවා. අවුරුදු 24ක් මොකුත්ම නැතිව ඉදලා සියයට 40ක් හෝ ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුව මේ වෙලාවේ ඉන්න ආර්ථික අර්බුදයත් එක්ක. එතකොට ඒ දීපු එක අරගෙන සතුටින් ස්තුති කරලා බැහැර වෙලා එන්නේ නැතිව, මාධ්‍යයට සන්දර්ශන කරලා අපියි කළේ කියලා ලාභය බෙදාගන්න උත්සාහ කර ගුටි ඇන ගන්නවා කියලා කියන්නේ ඒකෙ තව යටි අරමුණක් තිබෙනවා කියන එකයි’ යනුවෙන්ද පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස