රට පුරා වනාන්තර විනාශ කරන බවට අසත්‍ය ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමේ පළකළ රජයේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ වනාන්තර සංහාරය පිළිබඳ විවිධ ඡායාරූප පළකර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයක දී මේවා පෞද්ගලික ඉඩම් එළිපෙහෙළි කිරීමේ දී ලබාගත් ඡායාරූප බව තහවුරු වී තිබේ.
එම ඡායාරූප ලංකාවේ සුප්‍රසිද්ධ වනාන්තර විනාශ කරන අවස්ථා ලෙස අර්ථකතනය කරමින් මොහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ඇත.