කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුය යන රෙගුලාසිය වරාය නගර සංවර්ධන පනතට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද අගමැතිවරයා කියා සිටියේය.
අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් අගමැතිවරයා එම අදහස් පළ කළේය.
මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
මේ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසු අගමැතිවරයා ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පැවසු අගමැතිවරයා සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.