බදියුදීන්ලා අත්අඩංගුවට ගන්නේ ආණ්ඩුවේ බැරිකම වසා ගන්නයි…! – තුෂාර ඉඳුනිල්…

April 25, 2021 at 12:01 pm | by emanisa.lk

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපොහොසත්ව සිටින ආණ්ඩුව සිය හිතවාදීන් පිනවීම සඳහාත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

“අද දවස වන විට සියලු කටයුතුවලින් මේ ආණ්ඩුව අසමත් බව පෙන්නලා අවසානයි. දැන් අද අපේ රටට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි රටට අවශ්‍ය වන යුක්තිය පසිඳලාගැනීම. පහුගිය දින කිහිපය තුළ මේ ආණ්ඩුව සිදුකරපු බරපතළ ප්‍රශ්න රාශියක් සමාජගත වෙලා තිබුණා. රුපියල් මිලියන 15900ක මහා හොරකමක් කරපු සීනි වංචාව ගැන මේ රටේ ජනතාව විශාල වශයෙන් කතා කරමින් හිටියා. දැන් ඒක අමතක කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. විෂකාරක පොල්තෙල් පිළිබඳ මේ රටේ විශාල ගැටළුවක් ඇතිවෙලා තිබුණා, දැන් ඒකත් ඉතාම සූක්ෂම විදියට අමතක කර දමමින් ඉන්නවා.

මහා පරිසර විනාශය, දැවැන්ත වන සංහාරය මේ රටේ ජනතාව අතර මහත් ආන්දෝලනයට ලක්වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරයේ මහාමොළකරුවා කවුද කියන එකත් පසුගිය දින කිහිපයේ ආණ්ඩුව බිත්තියට හිරකරන තැනටම ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඊගාවට වරාය නගරය මේ රටේ අමුතුම ප්‍රාන්තයක් හැටියට චීනයට ලබාදීමට එරෙහිව මේ රටේ සමස්ත ජනතාව විශාල වශයෙන් මේ ආණ්ඩුවට අප්‍රසාදය පළකරමින් සිටියා.

දැන් මේ අසාර්ථකභාවයන් පෙන්නුම් කරමින් සිටියදී කොවිඩ් වසංගතය නැවත පිමි ගණනාවක් ඉදිරියට පනිමින් ගමන් කරමින් තියෙනවා.

ආණ්ඩුව දැන් සූදානම් වෙනවා තමන්ගෙ හිතවාදීන් සහ මතවාදීන් පිනවීමේ බලාපොරොත්තුවෙන් මේ ආණ්ඩුවෙ තියන සියලු අකාර්යක්ෂමතා විවේචනය කරන විරුද්ධ දේශපාලන කණ්ඩායම්වල නායකයින් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම තමයි මේකට විසඳුම හැටියට යොදාගෙන තියෙන්නෙ.”

තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස