ඇමැති නාමල් ගුවන්තොටුපළේ සිරවෙයි…! ගුවන් යානය ඇමැති එනතුරු විනාඩි 45ක් බලා සිටී….!

March 8, 2021 at 10:06 am | by emanisa.lk

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග අද උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ වන විටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස