දුමින්ද සිල්වා පිළිබඳ කොමිසම් නිර්දේශ අධිකරණයට අපහාසයක්…! – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

March 1, 2021 at 10:56 pm | by emanisa.lk

දේශපාලන පළිගැනිම් පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වන දා හා 2019 නොවැම්බර් 19 වන දා කාලය අතරතුරදී සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තියේ අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව සහ ඒ හරහා අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ, නීතිඥ අචලා සෙනෙවිරත්න, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ නාමල් රාජපක්ෂ හා නීතිඥ තම්බයියා ජෙයරත්නරාජා යන සිව් දෙනා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් අගවිනිසුරුවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළ අංක 2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත් ම කර නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු චෝදනා කරති.

දුමින්ද සිල්වා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නැවත සලකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස