පළාත් සභාවලින් සෞඛ්‍ය බලතල ගලවයි…! සම්පූර්ණ සෞඛ්‍ය සේවාව මධ්‍යම ආණ්ඩුව යටතට….!

March 1, 2021 at 8:46 pm | by emanisa.lk

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (01) දැනුම් දුන්නේ ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කළේ ය.

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණිනි.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වනවිට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව වූ යෝජනා සළකා බැලූ අග්‍රාමාත්‍යතුමා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කරන්නැයි දැනුම් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍යමණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව කියා සිටියේය. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවූ මාස 9යක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා, වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍ය ආරක්ෂිත කිරීම සහ පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිර යන බෝ නොවන රෝග මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට දුන් යෝජනා පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස