ඇල්පෙනෙත්තක්වත් නො හදන ජාතියක් යැයි චෝදනා කර ගැනීමෙන් ඵලක් නෑ…! – අගමැති මහින්ද

January 20, 2021 at 9:30 pm | by emanisa.lk

ඇල්පෙනෙත්තක්වත් නො හදන ජාතියක් ලෙස තව දුරටත් අපි අපට ම චෝදනා කර ගැනීම ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

පන්නිපිටිය, මාකුඹුර ප්‍රදේශයේ ඉදිකළ යෝ බ්‍රෑන්ඩ් (Yoo Brand) පාවහන් කර්මාන්ත ශාලාවේ සාමාරම්භක උත්සවය අද (20) විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන පාසල් පාවහන් වෙළඳපොළ මිලට සියයට 30ක් අඩුවෙන් ඉදිරියේ දී සතොස වෙළඳසැල්වලින් ලබා ගැනීමට හැකියාව උදා වේ.

“ඔබ දන්නවා, ජනතාව අපට හැම වෙලාවෙම ආණ්ඩු බලය දුන්නෙ රට හමුවේ අභියෝගයක් තිබෙන වෙලාවක. එහෙම වෙන්නෙ මහ ජනතාවට අප ගැන විශ්වාසයක් තිබෙන නිසා. රටේ ආරක්ෂාව වේවා, වසංගත අර්බුධයක් වේවා, ජනතාව වෙනුවෙන් රජයක් ලෙස උපරිමය අපෙන් ඉටුවන බව ඔබ දන්නවා. ඒ වගේ ම ඒ විශ්වාසය අපි හැමදාම රැකලා තියෙනවා.

විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුවත් අන් කවරදාටත් වඩා දේශීය කර්මාන්ත කරුවා නගා සිටුවීමට අපට හැකි වී තිබෙනවා.

අද විවෘතවන මෙම පාවහන් කර්මාන්ත ශාලාව මුළු රටට ම සම්පතක්. දේශීය වෙළදපොලේ පාසල් දරුවන්ගේ පාවහන් පවතින මිලෙන් සියයට තිහක් අඩුවෙන් ලබාදීමට මෙමගින් හැකිවෙනවා. ඒ වගේම ක්‍රීඩා හා ඇවිදීමේ පාවහන් ජාත්‍යන්තර සන්නාමවලට සමාන උසස් තත්ත්වයෙන් මෙහි නිර්මාණය වන බව දැනගන්න ලැබුණා.

මේ හැම පාවහන් යුගලයක්ම නිර්මාණය වන්නෙ Made In Sri Lanka සංකල්පය පෙරදැරිවයි. නිටඩ් තාක්ෂණය යොදාගනිමින් සියයට 70ක් පමණ එකතු කළ අගයක් මත මෙම නිෂ්පාදන කාර්ය ඉටුවීම විශේෂිතයි. ඒ නිසා මේ හැම පාවහන් යුගලකම තිබෙන්නෙ ශ්‍රී ලාංකික අභිමානය.

මේ කර්මාන්තශාලවත් අද පටන් පාවහන් නිෂ්පාදනය කළාම, රබර් කිරි ගොවියන්ටත් ඉන් ආර්ථික වාසි අත්වෙනවා. ඔවුන්ගේ පවුල්වල අදායම ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි අපේ තරුණ පරපුරට රැකියා අවස්ථා උදාවෙනවා.

වෙනදා මේ වගේ කර්මාන්තශාලාවක තාක්ෂණික දැනුම ගන්න පිටරට ම යන්න ම ඕනි. දැන් අපේ තරුණ පරපුරට ඒ දැනුමත් අපේ රටේ ම ලබන්න පුළුවන්. මේ හැමදේම එකතු වුණා ම අගය එක් කළ නිෂ්පාදනයකින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය රටටම ලැබෙනවා. දකුණු ආසියාවේ දෙවැනි විශාලතම මේස් අපනයන නිෂ්පාදන ආයතනයත් ඔබට අයත් මේ ආකාරයේම දැවන්ත සේවාවක් සපයන ආයතනයක්.

ඒ නිසා ඇල්පෙනෙත්තක්වත් හදන්නෙ නැති ජාතියක් ලෙස තවදුරටත් අපි අපටම චෝදනා කර ගැනීම ඵලක් නැහැ. අතීතයෙන් හොද දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වෙන්න ඕනි. සෞභාග්‍යමත් දේශයක් කරායන ගමනට මෙවන් කර්මාන්ත ශාලවක් ලබා දෙන ශක්තිය අති විශාලයි. මේ සඳහා සම්බන්ධ සියලු දෙනාටම මගේ සුබ පැතුම් එක්කරනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස