පිඟන් වෙනුවට උළු ගඩොල් හදන පිඟන් සංස්ථාව නිෂ්පාදන 30ක් යළි අරඹයි!

September 10, 2020 at 7:50 am | by emanisa.lk

පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක පමණක් දක්වා අඩුවී ඇති අතර ඉදිරියේදී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) ලංකා පිගන් සංස්ථාවේ නිලධාරින් සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදීය.

මේ අතර පෙර පාසල් සහ පාසල් දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය වන, චීනයෙන් ගෙන්වා ලබාදෙන ප්‍රමිතියෙන් තොර ‘මැටි ක්ලේ’ වෙනුවට ලංකා පිගන් සංස්ථාවෙන් සෞඛ්‍යාරක්ෂිත ‘මැටි ක්ලේ’ ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා ලෙස ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයත්, විශ්ව විද්‍යාලවල සහ උසස් තාක්ෂණික විද්‍යාලවල ශිෂ්‍යයන් ද සහභාගී කර ගනිමින් ඉදිරියේදී ලංකා පිගන් සංස්ථාවට අවශ්‍ය භූගත මැටි සොයාගැනීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් පිගන් සංස්ථාවට නව ආදායම් උපයා ගැනීමේ සැලැස්මක් ද සකසන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීහු , අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු , ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස