මන්නාරමේ සහ යාපනයේ කිතුනු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරූ පුද්ගලයෙකු ඊයේ (06) දින යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු පළමුව මීට දින කිහිපයක පෙර මන්නාරම පේසාලෙයි වෙට්ට්රිමාතා දේවස්ථානයෙහි සැකකටයුතු ලෙස සැරිසරා ඇති බව දේවස්ථානයේ සී.සී.ටී.වී දර්ශනවලින් තහවුරු වී ඇත. පසුව ආරක්ෂකයින් එම පුද්ගලයා සෙවීමේදී අතුරුදහන්ව ඇත.
අනතුරුව ඊයේ දින යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේද පුද්ගලයකු සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව බැතිමතුන් යාපනය පොලීසියට දැනුම් දී තිබේ. යාපනය පොලීසිය එහි පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම පේසාලේ දේවස්ථානයේ සැරිසැරූ පුද්ගලයා ද ඔහුම බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. අදාළ සැකකරු කිතුනු දේවස්ථාන වෙත පැමිණීම පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය පොලීසිය අනාවරණය කරයි.