තිස්ස විහාර විරෝධතාව දෙමළ බෞද්ධයාගේ ආගමික නිදහස විනාශ කිරීමක්…! – අරුණ් සිද්ධාර්ත් ..

August 2, 2023 at 3:17 pm | by emanisa.lk

ඊයේ දින 01 යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ වස් ආරාධනා පිංකමට හා බෞද්ධ විහාරයක් යාපනයේ දෙමළ භූමියේ නොතිබිය යුතු බව පවසමින් එක්තරා දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් සංවිධානය කල විරෝධතාවය මා විසින් ප්‍රථමයෙන් පිළිකුලෙන් යුතුව හෙළාදකිමි.

ඊයේ දිනයේ මෙම වස් ආරාධනා පිංකම සඳහා යාපනය දමිළ බෞද්ධ ජනතාව ද සහභාගීවීමට සූදානම්ව සිටියේය. මෙය එක්තරා පිරිසක් දේශපාලන වාසි ලබාගැනීමට හා බෙදුම්වාදයට සහය දක්වන ඩයස්පෝරා කණ්ඩායම්වල මුදල් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බැවින් සමස්ත දමිළ ජනතාව වෙත මෙහි වරද පැටවීම සුදුසු නැත.

විශේෂයෙන්ම කිව යුත්තේ විහාරයේ ඉඩම් ගැටළුවක් ඇත්නම් ඒවා නීත්‍යානුකූලව විසඳ ගන්නවා වෙනුවට මේ ආකාරයෙන් උතුරේ දමිළ බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීම අප අනුමත නොකරන බවයි. මෙම විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල වකවනුවට අදාළ ඓතිහාසික බෞද්ධ විහාරයක් වන අතර එය ඔප්පු කිරීමට සාක්ෂි අප සතුව ඇත.

මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ පැවැත්වූ විහාරයට එරෙහි විරෝධතාවකදී ගරු අධිකරණය විසින් කන්කසන්තුරය තිස්ස විහාරයේ ආගමික කටයුතුවලට බාධා නොකරන ලෙස නියෝග කොට තිබියදී මෙසේ අධිකරණ නියෝග කඩ කරමින් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

මෙසේ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම මගින් දමිළ ජනතාව වෙත සිංහල ජනතාව ප්‍රචන්ඩත්වයක් මුදාහැරීම මේ අයගේ ඒකායන අපේක්ෂාවයි. එසේ ඩයස්පෝරාවේ බෙදුම්වාදී කොන්ත්‍රාත් ඉටුකිරීම උතුරේ යම් යම් දේශපාලන කල්ලිවල ආදා‍යම් මාර්ගය වන බැවින් ඔවුන්ගේ අවශ්‍යතාව අප ඉටු කල යුතු නැත. අප කලයුතු වන්නේ උතුරේ දමිළ බෞද්ධයා බලගන්වා උතුරේ අධිපති කුලවාදී අන්තවාදී දේශපාලනය අතුගා දමා මාතෘ භූමියට ආදරය කරන ඒකීය රටක් පිළිගන්නා පාර්ශවයන්ට උතුරේ බලය ලබාගැනීමට සහය වීමයි.

පසුගිය කාලය පුරා භාවිතාවෙන් අප රටටම පෙන්වා සිටි ආකාරයෙන් ඉදිරියේදීද උතුරේ ආගමික නිදහස වෙනුවෙනුත්, ජාතික සමගිය වෙනුවෙනුත්, ඒකීය රටක් වෙනුවෙනුත්, උතුරේ ජනතාව වෙනුවෙනුත් පෙනී සිටින බව ඔබට තව දුරටත් ප්‍රකාශ කරමි.

– අරුන් සිද්ධාර්ත්.

(1956 මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ යාපනය සිතියමේ නිල් පැහැති පසුබිමක චෛත්‍යය ලකුණක් ලෙස ඇත්තේ කන්කසන්තුරය තිස්ස විහාරයයි.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස