උතුරේ බෞද්ධ වෙහෙර විහාර නටබුන් දහස් ගණනක්…! කුරුන්දමලේ බෞද්ධ උරුමයට හානි කරලා…! – එල්ලාවල මේධානන්ද හිමි..

February 6, 2021 at 8:38 am | by emanisa.lk

කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලොව පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බවත් ආගම්, ජාති භේද ඉවත දමමින් ලාංකික උරුමයන් රැක ගැනීමට එක්වෙන ලෙසත් පුරාවිද්‍යා චක්‍රවර්තී අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ ඉල්ලා සිටිති.

උන්වහන්සේ මේ බව පැවසුයේ, ඊයේ (05) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී, කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ලංකාවේ දැනට කැනීම් කරන ලද පුරාවස්තු වලින් 99%ක්ම බෞද්ධ වෙහෙර විහාරවලට සම්බන්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන බවත්, තමන් වහන්සේ විසින් උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන දහසක් පමණ විමර්ශනය කර ග්‍රන්ථ සම්පාදනය කර ඇති බවත් උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය පොත ඊට නිදසුනක් බවත් මෙය ආගම්වාදය හෝ ජාතිවාදය මුල් කරගත් කාරණාවක් නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලෝකය පුරා වැරදි මතයක් ප්‍රචාරය කරමින් ඇති බවත් මෙය ඉහත කාල වකවානුවලදී පටන් පැවත එන්නක් බවත් මේ පිළිබඳ කතිකාවන් පාර්ලිමේන්තුව තුළ හා හැන්සාර්ඩ් වාර්තා හරහා ද ගෙන ආ බවත් හිමියන් ඒ සියල්ල සඳහා පිළිතුරු දුන් බවත් පැවසීය.

ත්‍රස්තවාදය මෙරට ඇති වීමට පෙර, ත්‍රස්තවාදී සමයේ හා ත්‍රස්තවාදය මෙරට අවසන් වූ කාලපරිච්චේද තුළ කුරුන්දමලේ ප්‍රදේශය වෙත මේධානන්ද හිමියන් මීට පෙර කිහිප වතාවක්ම නැරඹීමට ගොස් ඇත. එහි දී මේධානන්ද හිමියන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇති ආකාරය අනුව ක්‍රමයෙන් මෙම ස්ථානය මෙම කාල වකවානු තුළදී විවිධ පාර්ශවයන්ගෙන් හානියට ලක්වී ඇත.

මේධානන්ද හිමියන් මෙම කුරුන්දමලේ විහාරය පිළිබඳ සාකච්ඡාවේදී තවදුරටත් ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්වුයේ ඉංග්‍රීසි ආණ්ඩු කාලය තුළ ජෝන් ස්ටීල් මහතා විසින් 1905 දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙහි නටබුන් රැසක් ඇති ස්ථානයක් බවත්, හෙන්රි පාකර් මහතාගේ වාර්තාවකට අනුව මෙම ස්ථානයට බුදුන් වැඩියා යැයි එහි ගම්මුන් විශ්වාස කරන බවත්, පළමු පුරාවිද්‍යා කොමසාරිස්තුමා වන එච්.සී.පී.බෙල් මහතාගේ වාර්තා අනුව මෙහිදී ස්ථූපය, විහාරය, වටදාගෙය හා ගල්කණු ආදිය පිළිබඳව සඳහන් වන බවත් මේ සියල්ලක්ම නිදහසට පෙර ජීවත් වූ අයගේ වාර්තා වන බවත්ය.

සද්ධාතිස්ස රජුගේ පුතෙකු වූ හල්ලාටනාග රජු විසින් ක්‍රි.පූ.109 දී මෙම කුරුන්දාශෝක විහාරය ගොඩනංවා ඇති අතර, පළමු අග්බෝ රජු විසින්ද 6වන සියවසේදී මෙහි විහාරයක් කරවා ඇත.

පොළොන්නරු රාජධානි සමයේදී පළමු වන විජයබාහු රජු විසින් කුරුන්ද විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බවත්, මෙම විහාරය බෞද්ධ විහාරයක් බවත් සිංහල අට්ඨ කතාවක් වූ කුරුඳු අටුවාව හෙවත් කුරුන්ද අට්ඨ කතාව මෙහිදී රචනා කර ඇති බවත් මෙම ස්ථානය බෞද්ධ උරුමයක් බවත් මේධානන්ද හිමි පැවසීය.

දෙමළ ජනතාවගේ ඇති සුහදශීලීත්වය පිළිබඳවද ඇගයීමට ලක් කරමින් වර්තමානයේ ඡන්දය බලාපොරොත්තුවෙන් විවිධ දෙමළ දේශපාලනඥයන් විසින් ජාතික උරුමයන්ගේ වටිනාකම් පහත හෙළීමට කටයුතු කරන බවත් ආගම් භේද ජාති භේද ඉවත දමමින් ලාංකිකයන්ගේ උරුමයන් රැක ගැනීමට එක්වෙන මෙන් මේධානන්ද හිමියන් තවදුරටත් අවධාරණය කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස