නිතී ප්‍රවේශ විභාග ඉංග්‍රිසියෙන් විතරක් ද? … ගෙවිඳුගේ ප්‍රශ්නයට අගමැති මහින්ද දුන් පිළිතුරු මෙන්න…

February 14, 2021 at 4:05 pm | by emanisa.lk

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට තීරණය කළහොත් මතුවන අර්බුදය කොතනින් කෙළවර වේ දැයි කිව නොහැකි බවට යුතුකම සංවිධානයේ සභාපති පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් අගමැති මහින්ද රාජපක්ෂ හමු වී අනතුරු අඟවා තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දිවා භෝජන සංග්‍රහය අතරතුර මෙම කතාබහ සිදුව තිබේ.

“මේ ඔක්කොම අතරේ දැන් අලුත් තීන්දුවක් අරන් තියෙනවා. විශ්ව විද්‍යාලවලට නිතී ප්‍රවේශ විභාග සියල්ල, නිතී විභාග පළමු වසර ඒ ඔක්කොම ඉංග්‍රිසි භාෂාවෙන් විතරක් පවත්වන්න, ඔබතුම මේ ගැන දැනුම්වත් ද?”

අගමැති මහින්ද ‍රාජපක්ෂ වටපිට බලද්දී දිනේෂ් ගුණවර්ධන ද හැරී ඔහුගෙන් එසේ සූදානමක් තිබෙනවා දැයි අසා සිටියේය. ඒ හැරුණු විට අනෙක් කිසිවෙකුටත් ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. දැනුමක් තිබුණේත් නැත. බොහෝ දෙනා සිටියේ විමල් වීරවංශට කුමක්ද කරන්නේ කියා කතා කරන ප්‍රශ්නයේ පැත්තක එල්ලෙන්නට බලාගෙනය.

“එහෙම දෙයක් ගැන අපිත් දන්නේ නෑ. අපි ඒක හොයලා බලමු.”

“මේක හරිම අවසනාවක් අගමැතිතුමනි. අපි ඔබතුමාලා කලාන්තරයක් තිස්සේ සටන් කළේ මේ බමුණු කුලයට එරෙහිව. ඔබතුමාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුවකත් මේ විදියට බමුණු කුලය රජකරන්න ගත්තොත් කොතනින් කෙලවර වෙයිද කියලා හිතාගන්න බෑ.” ගෙවිඳු කීවේය.

මේ අතර මන්ත්‍රීවරුන් ඇමතිවරු ළඟ ම සිටින ඒ ඒ අය සමග මේ ගැන කතාබහ කරන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙක් මේ කරුණු ගැන දැනුවත්ව සිටියේ නැත.

“සිංහල භාෂාවට මුල් තැන දෙන එක, සිංහලෙන් වැඩ කිරීමට මුල් තැන දෙන එක අපේ ආණ්ඩුවේ පරමාදර්ශය. රෙද්ද බැනියම අදින නායකයෙක්ගේ ආණ්ඩුවකින් එහෙම දෙයක් වෙයි කියලා මේ රටේ ජනතාව විශ්වාස කරන්නෙ නෑ. ඒ වුණාට මේ වගේ යෝජනාවක් හිටපු හැටියේ ඇවිල්ල සම්මත වුණොත් ඒකෙන් ගම්වල ඉන්න අපේ සිංහල අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මොන වගේ අනාගතයක් උදා වේවිද?”

එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පොරොන්දු වූයේ මේ ගැන සොයා බලා එසේ වරදක් වී ඇත්නම් වහාම මැදිහත්වී නිවැරදි කිරීමට ඉදිරිපත් වන බව කියමිනි.

(උපුටා ගැනීම : බුලිත ප්‍රදීප් කුමාර විසින් රචිත 2020/02/14 වන දින දිවයින ඉරිදා සංග්‍රහයේ ‘සතියේ දේශපාලනය’ ලිපියෙනි.)

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස