2024 අනුර ජනපති කරන්න ජවිපෙන් කෝටි පහක මීඩියා කැම්පේන් එකක්…! යූඇන්පී ප්‍රචාරණ ඒජන්සියේ ලේඛණ බත්තරමුල්ලෙන් සමාජමාධ්‍යයට…!

October 18, 2021 at 7:34 am | by emanisa.lk

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිරූපය තරුණ පරපුර අතර නැංවීම උදෙසා ප්‍රවර්ධන ආයතනයක් විසින් ජනතා විමුක්ති පෙරමුණෙන් මුදල් ලබා සිදුකරන ප්‍රචාරණ ව්‍යාපෘතියක අයවැය ලේඛනයක් සමාජජාලා වෙත නිකුත් වී තිබේ.

‘අලුත් මාවතකට හැරෙමු’ නමින් නම් කර ඇති මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රකට එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව කටයුතු කරනා “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය විසින් මෙහෙයවයි.

එහිදි එම ආයතනය විසින් ලබා දුන් යෝජනාවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන පනහකි (කෝටි පහකි). ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම 50%ක අත්තිවාරම් මුදලක් එනම් කෝටි දෙක හමාරක මුදලක් මෙම ප්‍රචාරණ ඒජන්සිය වෙත ගෙවා තිබේ. ඉතිරිය 25% බැගින් වාරික දෙකකින් ගෙවීමට නියමිතය.

මෙහිදි මෙම ව්‍යාපෘතිය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය වල වැඩසටහන් අනුර කුමාර දිසානායකට වෙන් කිරීමටත් “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය එකඟ වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන් වල ආරාධිතයන් තීරණය කරන්නෙ එහි නිෂ්පාදකවරයා අතර, ඔහුට හෝ ආයතනයේ අලෙවිකරණ අංශයට සෘජුවම මුදල් ගෙවා මෙම වැඩසටහන් ලබා ගැනීමේ හැකියාව පවති.

තවද ‘Talk With Chamuditha’ , ”Suda Creation” වැනි ජනප්‍රිය යූටියුබ් නාළිකාද මෙම කැම්පේන් ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට ප්‍රචාරණ ඒජන්සිය යෝජනා කර තිබේ. එම යූටියුබ් නාළිකා වල වැඩසටහන් ඕනෑම පුරවැසියෙකුට මුදල් ගෙවා මිලට ගැනීමේ හැකියාව පවති.

තවද ජනප්‍රිය ෆේස්බුක් පිටු, වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක් ගිණුම් දහස් ගණනක් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිරූපය නංවන මෙම ප්‍රචාරණ වැඩපිළිවෙළට යොදා ගැනීමට යෝජනා කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ “Tik Tok” සමාජජාලා මාධ්‍යයේද මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සිදු කිරීමයි. මින්පෙර කිසිඳු දේශපාලන පක්ෂයක් ‘Tik Tok’ මාධ්‍යය දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතීන්ට භාවිතා කළේ නැත. එය ඉතා නිර්මාණශීලි උපක්‍රමයක් වන්නේ මීළග මැතිවරණයක මුල්ම ඡන්දය හිමි තරුණ පිරිස අතර “Tik Tok” සමාජජාලා මාධ්‍යය අතිශය ජනප්‍රිය වීම හේතුවෙනි.

තවද ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පළ කිරීම් “අසත්‍යය” යැයි ලයිස්තුගත කිරීමට බලය හිමි ‘Fact Crescondo’ ෆැක්ට් චෙකිං ආයතනයට මුදල් ගෙවීමටත් මෙම ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබේ. එමගින් ජවිපෙට එරෙහි සමාජජාලා පළ කිරීම් අසත්‍ය ලෙස ලැයිස්තුගත කිරීමටය.

දැනමටත් ‘Fact Crescendo’ වෙබ් අඩවියේ පළ කිරීම් වලින් 60%ක් පමණ වෙන් කර ඇත්තේ ජවිපෙට එරෙහි පළ කිරීම් වැරදී බව කීම උදෙසා වීමත් විශේෂය. මේ පිළිබඳව මාධ්‍ය සංවිධානයක් ‘Fact Crescendo Sinhala’ වෙබ් අඩවියට එරෙහිව ෆේස්බුක් ආයතනයට සහ IFCN ආයතනයට පැමිණිලි කිරීමේ සුදානමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙලෙසට Fact Crescendo’ ෆැක්ට් චෙකිං ආයතනය ජවිපෙ වෙනුවෙන් කටයුතු කරන්නේ මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන තිබීම හේතුවෙන් බව ද වාර්තා වේ.

Ogilvy Digital ආයතනයේ හිමිකරු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයෙකු ලෙස කටයුතු කළ අර්වින් වීරක්කොඩිය.

කෙසේ වුව ද ජනතා විමුක්ති පෙරමුණ මෙම තොරතුරු අසත්‍ය බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස