20 වැනි සංශෝධනය ගෙන ඒමේ දී ඇමැති ධුර සංඛ්‍යාව 30 සීමාවේ හා 40 සීමාවේ පවත්වා ගන්නට මහා සංඝරත්නය හා ජාතික බලවේග සමත් වුවද, රජයට අවශ්‍ය නම් ඕනෑම විටක ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට මෙම 20 වැනි සංශෝධනය තුළ වුවද ප‍්‍රතිපාදන තිබේ.
ඒ සඳහා කළ යුත්තේ 2015 දී යහපාලන ආණ්ඩුව කළා සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් කණ්ඩායමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ජාතික ආණ්ඩුවකට එළැඹීම පමණි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි අර්ථ දක්වා තිබේ. ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂය හෝ කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටින වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් එය කළ හැකි ය.
එහි දී 2015 දී එවකට සිටි කථානායකවරයා ව්‍යවස්ථාව අර්ථ දක්වමින් එකී සන්ධානගත කණ්ඩායම් පිළිගත් ආකාරය ගැන පූර්වාදර්ශයක් ඇති බැවින් කිසිදු ගැටලූවකින් තොරව මෙම රජයට ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර සංඛ්‍යාව තීරණය කළ හැකි බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. එම ප්‍රතිපාදන කිසිවක් 20 වෙනි සංශෝධනය මගින් වෙනස් වී නොමැත.
තමන්ට සරිලන ඇමැති ධුර නොලැබුණේ යැයි බලවත් කනස්සල්ලෙන් පසුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රී පිරිසක් 2015 ආකාරයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර තමන්ට ඇමැති ධුර ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.