2015 ඉඳලා තවුහිද් ජමාත් පල්ලි 400ක් හදන්න ආණ්ඩුව අවසර දීලා! මහනුවර විතරක් පල්ලි 50ක් හදලා!- දයාසිරි ජයසේකර

April 30, 2019 at 8:10 am | by admin

ඉකුත් 2015 වසරේ සිට මේ දක්වා තව්හිද් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් අන්තවාදී පල්ලි හාරසීයක් (400ක් ) පිහිටුවීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇමැතිවරයා නියෝජනය කරනු ලබන මහනුවර දිස්ත‍්‍රික්කයේ පමණක් එවැනි අන්තවාදී පල්ලි පනහක් (50ක්) පමණ පිහිටුවා ඇති බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුස්ලිම් ආගම වෙනුවෙන්ම වෙනම ඇමැතිවරයකු පත් කළද ඔහු කර ඇත්තේ සම්ප‍්‍රදායික මුස්ලිම් ආගම ආරක්‍ෂා කිරීම නොව අන්තවාදී පල්ලි බිහි කිරීමට අවස්ථාව ලබා දීම බවද එම නිසා සියලුම ආගම්වලට පොදු එක ඇමැතිවරයකු පත්කිරීම වඩා යෝග්‍ය බවද ශ‍්‍රීලනිප මහලේකම්වරයා පැවසීය.

මෙම අන්තවාදී පල්ලි ස්ථාපිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කරන බව කී මහලේකම්වරයා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහය ලබා ගෙන එම පල්ලි තහනම් කිරීමට පියවර ගන්නා බවද කීවේය.

මේ ආණ්ඩුව යටතේ මුස්ලිම් ඇමැතිවරුන් විසින් අරාබි පාසල් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන්ද අවසර ලබාගෙන ඇති බවත් කී දයාසිරි ජයසේකර මහතා එම පාසල්වල විෂය නිර්දේශයන්ද ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇතිද යන්න සොයා බැලිය යුතු බවත් කියා සිටියේය.

මෙවැනි පල්ලි සහ අරාබි පාසල් ආරම්භ කිරීම පිළිබඳව සොයා බලා ඒවාට එරෙහිව කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීම බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස