ළමා මන්දපෝෂයෙන් ලංකාව ලෝකෙන්ම 06 වෙනි තැනට…!

August 27, 2022 at 10:15 pm | by emanisa.lk

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2 වැනි ස්ථානය දිනාගෙන සිටින බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යෑම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල් වල දරු දැරියන්ට බව යුනිසෙෆ් සංවිධානය පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් හරි අඩකට දැනටමත් කුමන හෝ ආකාරයක හදිසි සහායක් අවශ්‍යව ඇතැයි යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කගේ පාසල් ගමනට අඛණ්ඩව බාධා පැමිණීම හේතුවෙන් වසර දෙකක කාලයක සිට ඔවුන්ගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යුනිසෙෆ් සංවිධානය මෙම නිවේදනය නිකුත් කළේය.

වත්මන් අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොයෙක් ආකාරයෙන් අඩාල වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික අර්බුදයට ඇතිවීමට පෙර දරු දැරියන් ආහාරයට ගත් උණුසුම් සහ පෝෂ්‍යදායී පාසල් ආහාර වේල තවදුරටත් ඔවුන්ට නොලැබෙන බවත් පාසල් ළමුන්ට අවශ්‍ය මූලික ලිපි ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු වී ඇති බවත් පාසැල් ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

වැඩිවන ආර්ථික පීඩනය හේතුවෙන් ළමයින්ට සිදුවන අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනටමත් 10,000 කට අධික ළමුන් සංඛ්‍යාවක් ආයතනික රැකවරණයේ(පරිවාස භාරයේ) සිටින බවත් පවුලක බැඳීමක් නොමැති වීම නිසා එවැනි ආයතනයක් දරුවෙකුට හැදී වැඩීමට හොඳම ස්ථානය නොවන බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

අවාසනාවකට මෙන්,ඇතැම් දුප්පත් පවුල්වලට තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් මෙම ආයතන වලට තම දරුවන් යොමු කිරීමට පෙළඹී ඇතැයි යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

වත්මන් ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව ළමුන් සම්බන්ධව ගොඩනගා ගත් ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් ඇති අතර සමහර අවස්ථාවලදී එම ප්‍රගතිය ස්ථිරවම නැති වී යා හැකි බව යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස