හොරා කියා වසර 22කට හිරේ දැම්ම ලූලා නැවත බ්‍රසීල ජනපති පුටුවට…!

October 31, 2022 at 10:28 am | by emanisa.lk

ඊයේ (30) පැවති බ්‍රසීල ජනාධිපතිවරණ දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබා ගනිමින් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි.

අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති යාර් බොල්සරානෝට ලබා ගත හැකි වූයේ ඡන්ද 58,205,814ක් පමණි එය ප්‍රතිශතයක් ලෙස සියයට 49.1 කි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි වටයකට යාමට සිදුවිය. පළමු වටයේ වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගත්තේ බොල්සරානෝ සහ ලූලා ද සිල්වාය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඊයේ(30) පැවැති අතර ඒ සඳහා ඉදිරිපත් වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය.

දෙවනි ධුරයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වුණු යාර් බොල්සරානෝ අන්ත දක්ෂිණාංශිකයෙකු වන අතර ලූලා ද සිල්වා වාමාංශිකයෙකි. ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය. එකල බ්‍රසීල ජනගහනයෙන් මිලියන 20ක් දුප්පත්භාවයෙන් ඉහළට ඔසවා තැබූ අතර ඔලිම්පික් උළෙල වැනි දැවැන්ත උත්සව පවත්වමින් බ්‍රසීලය ඉහළට ඔසවා තැබුවේය.

ලතින් ඇමරිකාවේ වාමාංශික සිංහයා යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ ලුලා ද සිල්වාට දූෂණ චෝදනා එල්ල කොට වසර 22ක සිරදඬුවමක් පැනවූ අතර ඔහුගේ දේශපාලන ජීවිතය එතැනින් අවසන් බව බොහෝ දෙනාගේ මතය විය. කෙසේ වුව ද දින 580ක් පමණ සිරදඬුවමකින් අනතුරුව නිදහස් වන ලූලා ද සිල්වා නැවත බ්‍රසීල ජනාධිපති ධූරයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *