සිංහරාජ වනාන්තරයේ මාදුගැටේ ප්‍රදේශයේ වැවක් තැනීමට වාරි ඉංජිනේරුවන් කළ යෝජනාව පිළිබඳව අදහස් විමසා යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත පවසයි.
එහි වැවක් තැනීමෙන් වනාන්තර අක්කර පහක් යටකෙරෙන බවත් එවැන්නකට කිසිසේත්ම යුනෙස්කෝවෙන් අවසර නොලැබෙන බව දන්නා නමුත් එකී යෝජනාව ප්‍රධාන කාර්යාලයට යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට යුනෙස්කෝවේ අවධානය යොමුවිය යුතු කිසිදු පාරිසරික හානියක් සිදුව නැතැයි කී ආචාර්ය මීගස්වත්ත ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි යැයි ද අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන අට අතරින් ස්වභාවික ස්ථාන දෙක වන්නේ මධ්‍ය කඳුකරය හා සිංහරාජ වනාන්තරය බවත් ඒවා පිළිබඳව ඕනෑ ම අවස්ථාවක සැබෑ තත්ත්වය හෙළි කිරීමට තමන්ට හැකි බවත් කී ආචාර්ය මීගස්වත්තේ, දැනට යම් යම් මාධ්ය්යන්හි පැවැසෙන අන්දමේ හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවත් කියා සිටියේ ය.