සෑම විනාශයක් පසුපසම ඉන්නේ ජවිපෙ…! සියලු වර්ජනය විරෝධතා මර්දනය කරනු..!

April 1, 2023 at 8:48 am | by emanisa.lk

ඉතා අසාධාරණ ලෙස ජනතාව දැඩි පීඩනයකට ලක් කරමින් සිදු කරගෙන යන වැඩවර්ජන සහ උද්ඝෝෂණ මර්දනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම පියවර ගත යුතු බව උමංදාව නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමි ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මේ බව පැවැසුවේ පෙරේදා (29) මැල්සිරිපුර, උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

“වෘත්තීය සමිතිකාරයන්ට බය නොවී ජනතාවගේ යහපතට ජනාධිපතිවරයකු වශයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව එළැඹ තිබෙනවා. මේ රටේ සිදු වන සෑම විනාශකාරී ක්‍රියාවක් පසුපසම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. හොඳට දුවන කිසිම ආයතනයකට ඔවුන් දුවන්න දෙන්නේ නෑ.

මම ජනාධිපතිවරයාට කියන්නේ මේ වෙලාවේ කෙළින් වැඩ කරන්න කියලයි. වර්ජනය කරන තෙල් සේවකයන්ට හොඳ පඩියක් ලැබෙනවා. මිනිසුන් පීඩනයට ලක් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් තව තවත් දිනාගන්න උත්සාහ ගන්නවා. හැබැයි මේ අය කවදාවත් උද්ඝෝෂණය කරනවා ද වැඩ කරන වෙලාව විනාඩි දහයකින් වැඩි කරන්න කියලා. මේකට ඉඩ දෙන්න නරකයි.

මොන තැන කවුරු උද්ඝෝෂණය කළත් වහාම එය මර්දනය කරන්න රජය පියවර ගත යුතුයි. රජය කියන දේ අහන්නේ නැතිව එක දිගට වැඩවර්ජන කරනවා නම් සියලු ම සේවකයන් ඉවත් කරන්න රජය කටයුතු කළ යුතුයි. හමුදාවෙන් දාලා හරි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි.

රටට ආදරය කරන අවංකව වැඩ කරන්න කැමති තරුණ පිරිසක් අද මේ රටේ ඉන්නවා. ඒ අයට අධ්‍යාපන සුදුසුකම් ඕන තරම් තියෙනවා. එම නිසා මේ අය පුහුණු කර මේ ආයතන අලුතින්ම හදන්න ඕනෙ. අන්න ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *