සලේට දිනපතා නීතිඥයා හමුවෙන්න දෙන්න බෑ… ඒක ඔහුගේ සෞඛ්‍යයට අහිතකරයි…! – CID

June 15, 2026 at 9:55 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාගැනීමට අවස්ථාව දිය නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව සලේ මහතාගේ නීතිඥවරයා වන අසිත් සිරිවර්ධන මහතාට සෑම බදාදා දිනකදී පමණක් සලේ මහතාව හමුවීමට ඉඩ ලබා දිය හැකි බවත් පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින් නීතිඥවරයාට දෛනිකව හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත.

ශානි අබේසේකර මහතා මේ බව දැනුම් දී ඇත්තේ සලේ මහතාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණු ලිපියකට පිළිතුරු ලබාදෙමිනි.

සුරේෂ් සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතරක බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් ශානි අබේසේකර මහතා සිය ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස