මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි… තමිල් සෙල්වම්ගේ හිස මත පතිත බුද්ධි මෙහෙයුමේ පළියයි… මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු කුරුසියේ ඇන ගසා මරන්න ඉඩ නොදෙනු…!

June 7, 2026 at 11:12 am | by emanisa.lk

මා “සලේ” හඳුනාගත්තේ අනපේක්ෂිත අවස්ථාවකදී ය. මාගේ මතකය අනුව කරුණා අම්මාන් LTTE සංවිධානයෙන් ඉවත්ව, එයට එරෙහිව යුද ප්‍රකාශ කළේ 2004 මාර්තු මුල් සතිය තුළය. ඒ සමගම LTTE ය කරුණා අම්මාන් සියලු නිල තණතුරු වෙතින් ඉවත් කළේය. එම වසරේම අප්‍රේල් 11 පමණ වන විට, ඔහු තම සාමාජිකයන් විසුරුවා හැර ආරක්ෂාව පිණිස පලා ගිය බව ඒ ගැන සමීප අවධානයකින් සිටි මා හට දැනගැනීමට හැකි විය.

මේ පුවත දැනගත් වහාම එකල ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා මා අමතා දැන්වූයේ, ඉක්මනින්ම ජනාධිපතිනිය හමු වී මේ ගැන (කරුණා අම්මාන්ගේ බිඳීයාම ගැන) සැබෑ තතු දැනගැනීමට අවශ්‍ය බවයි. මම වහාම මංගල සමරවීර අමාත්‍යවරයාට කතා කළෙමි. අවශ්‍යතාව දැන්වූ පසු, ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග 12 වැනිදා හවස 5 ට ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස අපට ආරාධනා කරනු ලැබූ බව මංගල පැය 1/2 කට පමන පසු මා අමතා පැවසුවේය.

ඒ සිංහල අලුත් අවුරුදු කාලය විය. මගේ මතකය අනුව නම් 12 වැනිදා පරණ අවුරුද්ද විය. අපි (සෝමවංශ අමරසිංහ, මම හා මගේ මතකය අනුව නන්දන ගුණතිලක හෝ ටිල්වින් සිල්වා) හරියටම හවස 5 වන විට එම ස්ථානයට පැමිණ සිටියෙමු. ඒ වනවිටත්, එවකට යුද හමුදාපති ජෙනරල් ලයනල් ජයනන්ද බලගල්ල හා මාගේ මතකය අනුව (එවකට දැරූ තනතුර මට මතක නැත) මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ ද එහි සිටියේය. ඒ අතර, පැහැපත් සමක් සහිත වැඩිය උස මහත නැති තරුණ හමුදා සාමාජිකයකු එහි විය. බැලූ බැල්මට ඔහු ඉතා ප්‍රියමනාප පුද්ගලයෙකු ලෙස මම නිරීක්‍ෂණය කළෙමි.

පැය භාගයක පමණක් සුළු ප්‍රමාදයකින් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය අප රැඳී සිටි කාමරයට පැමිණියාය. සුහදව අප පිළිගත් ඇය තත්ත්වය විස්තර කරන ලෙස යුද හමුදාපතිවරයාට විධානය කළාය. යුද හමුදාපතිවරයා ප්‍රවේශය ලබා දී සිතියම් ආශ්‍රයෙන් සිදුවෙමින් පවතින දේ පැහැදිලි කිරීම බාර දුන්නේ මා පෙර කී “ප්‍රියමනාප පෙනුමැති” හමුදා නිලධාරියාටය.

ඔහු එකින් එක සිදුවෙමින් පවතින සිද්ධි දාමය හා එය පතුලේ සැඟවී තිබෙන කරුණු ගැන මෙන්ම, මෙම ප්‍රවණතාව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් යොදා ගත යුතු අන්දම ගැන මනා විවරණයක් සිදු කළේය. කරුණා අම්මාන්ගේ සිදුවීම පිළිබඳව මා තුළ වූයේ කිසියම් විග්‍රහයක් හා නිගමනයක් ද එය මා තුළ පැවතියටත් වඩා හොඳින් හා වෘත්තීයමය අයුරින් මේ තරුණ නිලධාරියා අප හමුවේ ඉදිරිපත් කළේය.
මෙකල, අපි “එක්සත් ජනතා නිදහස් සන්ධානය” නමින් ශ්‍රී.ල.නි.ප. ය ඇතුළු පක්ෂ රැසක් සමඟ සන්ධානගතව සිටියෙමු. ජනාධිපතිනිය මේ අවස්ථාව අපට ලබා දුන්නේ ද ඒ පැවති දේශපාලන පරිසරයට අනුකූලවය.

ඉන් දින කිහිපයකට පසු, මා දන්න යුද හමුදා බුද්ධි අංශයේ මැද පෙළේ නිලධාරියකු (ඔහුද ශ්‍රී ලාංකික මුස්ලිම් නිලධාරියෙකි) දුරකථනයෙන් මා අමතා හමුවීමට අවශ්‍ය බව කියා සිටියේය. මම ඔහුට ලබා දිය හැකි ළඟම වේලාව ලබා දුන්නෙමි. ඔවුන් පැමිණියේ බොරැල්ලේ තිබූ, වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාට අයත් නිවසේ අප පවත්වාගෙන ගිය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කාර්යාලයටය. මා දන්නා බුද්ධි නිලධාරියා සමඟ මා නොදන්නා, එහෙත් එදා මා දුටු හමුදා නිලධාරියා ද පැමිණ සිටියහ. ඒ අන් කවරකුවත් නොව සුරේෂ් සලේය.

සලේ මගෙන් ඉල්ලීමක් කළේය. “කරුණා අම්මාන් කොළඹට ගෙනාවා. තව එයාගෙ කට්ටියකුත් ඉන්නවා. ජනාධිපතිතුමියට යුරෝපා රටවලින් ආපු පීඩනය නිසා, අපට (යුද හමුදා බුද්ධි අංශයට) නියෝග කළා කරුණා අම්මාන්ලව බලාගන්න එපා කියලා. ඒ නියෝගයට අපි අවනත වෙන්නත් ඕනා. ඒත් මේ අවස්ථාව අත හැරුනොත් ඒක විශාල පාඩුවක්. මම ආවේ ඔබෙන් උදව්වක් ඉල්ලන්න.” ඒ, සලේගේ ඉල්ලීමේ මුල් ටිකය.

“කියන්න. මොකක්ද කරන්න ඕනෙ? මම නොඉවසිලිමත්ව විමසුවෙමි. අපට එයාගේ ටීම් එකක් නවත්තගන්න ඕන. තැනක් නෑ. පුළුවන්නම් සේෆ් හවුස් එකක් අපට දෙන්න. ටික කාලෙකට ඒ අයව ආරක්ෂා කර ගන්න.” ඔහු ඉල්ලා සිටියේය. මම ඔහුට පොරොන්දු වූයේ, ඉක්මනින්ම ඒ ගැන සාධනීය පිළිතුරක් ලබා දෙන බවය.

පසුව මම ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ දී මේ “ඉල්ලීම” ඉදිරිපත් කළෙමි. සෝමවංශ අමරසිංහ සහෝදරයා එය විවාදයකින් තොරව අනුමත කළේය. කිසිවකු එම පහසුකම සැලසීම ගැන විරුද්ධ වූයේ නැත. ඒ අනුව, සුරේෂ් සලේ බලාපොරොත්තු වූ උදව්ව අපි ඉටු කළෙමු.

ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඔහු වෙනුවෙන් වූ උපකාරයක් ද? මේ සිදුවීම අවශ්‍ය නම්, ජනාධිපතිනියගේ නියෝගයට පිටින් යාමක් ලෙස චෝදනා වර නැඟීමට යොදා ගත නොහැකිද? එහෙත්, එය වරදක්නම්, ඔහු ඒ වරද කළේ ඔහුගේ ආත්මාර්ථකාමී අරමුණක් සපුරා ගැනීම වෙනුවෙන් ද? ඔහු මේ අවස්ථාවේදී එකල ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් වූ මා හමුවීමෙන්, ඔහු ජ.වි.පෙ. සමඟ අනවශ්‍ය ඇසුරක් පවත්වාගෙන ගියායැයි අවශ්‍යනම් කෙනෙකුට අර්ථ ගැන්විය නොහැකිද?

අනේ මිනිසුන්නේ, බුද්ධි නිලධාරින් අනෙක් හමුදා නිලධාරින්ට වඩා වෙනස්ය. ඔවුන් සමාජයේ හොඳ නරක හැම තැනම ස්පර්ශ කළ යුතුය. සියල්ල දැනගත යුතුය. අප කෙරෙහි ඇතිවී තිබූ පැහැදීම අනුව සලේ පැමිණ අපගෙන් ඒ උපකාරය ලබා ගත්තේය. ඔහු එය කළේ සද්භාවයෙනි. රට වෙනුවෙන්, රටට සාමය දිනා දීම වෙනුවෙනි.

ඒ මම දන්න, මට ප්‍රත්‍යක්ෂ සලේය. පසු කලෙක (ගෝඨාභය පාලන සමයේ) සිටි සලේගේ භූමිකාව මට එතරම් පැහැදිලි නැතත්, එක දෙයක් මම දනිමි. සලේ මේ රටට හා ජාතියට පණ මෙන් ආදරය කළේය.
අද මේ සිදුවන්නේ, නන්දිකඩාල් වෛරය පිරිමසා ගැනීමය. තමිල් චෙල්වම්ගේ හිස මත පතිත වූ බුද්ධි තොරතුරේ හිමිකරුවාගෙන් පලිගැනීමය. එය එසේ පෙනෙන පරිදි සිදු කළ නොහැක. ඒ නිසා එම පලිගැනීම සිදුවන්නේ ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම්ලා නිදොස් කොට නිදහස් කර, පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා මේ අව්‍යාජ දේශප්‍රේමි විරුවන්ට ඇණ ගසාය. අප මෙය ඉවසිය යුතුද?

ඔහු අද මාරාන්තික උපවාසයේය. ඒ ශානිගේ වධකාගාරයේය. නඩු විභාගය නොකරන්නැයි අප කියන්නේ නැත. අප ඉල්ලන්නේ ශානිගේ වධකාගාරයෙන් ඔහු නිදහස් කළ යුතු බව පමණය.
මේ අපට ජීවිතය දුන් විරුවෝය. මේ අපට සාමය දිනා දුන් විරුවෝය. ඒ බව නොපිළිගන්නේ නන්දිකඩාල් වෛරය හිතේ ගබඩා කරගත් ඕපපාතිකෙයෝම ය.

කලීල් ජිබ්රාන් නම් කවියා රචනා කළ “Pity the Nation” කවියේ කොටසක මෙසේ දැක් වේ.
“රණවිරුවාගේ ධජයෙන් මැරයන්ට පාවඩ එළන ආක්‍රමණිකයාගේ ඉඳුල රස මසවුලු කර බුදින…
රෑ නින්දෙන් එකහෙලා බැහැර කළ දේ උදෑසන අවදියෙන් සිත් සතුටින් බාරගන්නා…
ජාතිය ! අහෝ ඔබ තුච්ඡය !
අවමගුල් පෙරහරේ හඬ ගා කියවන්නට අතීත ශ්‍රී විභූතිය ගැන දොඩමළු වෙන්නට පමණක්…
වචන රැකගෙන හිස ඔබා නිහැඬව සිටින…
ගහලයාගේ අසිපත පහළට එද්දී ද සටන් නොකරන…
ජාතිය, අහෝ ඔබ තුච්ඡයි…!
සිඟාලයකු රජ පුටුවේ අසුන් දරා…
නන්දොඩවන්නන් වියතුන් ලෙස පසසා…
කෑලි මූට්ටු කරන්නන්, අනුකාරකයන් කලාකරුවන් කරගත්
ජාතිය, අහෝ ඔබ තුච්ඡයි…!
බැස යන හිරුට පසුපස හරවා…
නැග එන හිරුට නමස්කාර කරන…
වැඳ පිළිගත් හිරුටද නැවත පසුපස හරවන…
උගතුන් මුව නොහරින…
යෝධයන්, තවමත් තොටිල්ලේ නැලවෙන…
ජාතිය, අහෝ ඔබ තුච්ඡයි…!
ජාතිය කැබැලි කොට…
එම කැබැලි වලින් වෙන වෙනම රටවල් තනන…
ජාතිය, අහෝ ඔබ තුච්ඡයි…!”

අප ජාතියක් ලෙස එම ඉරණමට බඳුන් විය යුතු නැත. අපට අපගේ දිවිය බේරා දුන් විරුවන් රැකීම බරක් වන්නේ නැත. නුඹලා කරන ඕනෑම නඩු විභාගයකට අප බාධා කරන්නේ නැත! එහෙත්, මේ විරුවා පැන්ෂන් ගිය ලොං හැලිච්ච නිකමකුගේ වධකාගාරයේ මිය යන්නට අප ඉඩ දෙන්නේ නැත. නන්දිකඩාල් වෛරය මෙලෙස සපුරා ගන්නට අප ඉඩ දෙන්නේ නැත!
ජාතියේ සාමූහික හෘදය සාක්ෂියට ජීවය ලැබේවා!

විමල් වීරවංශ
නායක,
ජාතික නිදහස් පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස