සයිනොෆාම් එන්නතින් කෝටි 320ක් හොරකම් කළා…! – රාජිත…

February 3, 2022 at 6:08 am | by emanisa.lk

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

සයිනෝෆාම් එන්නත මුලින්ම ඇනවුම් කර ඇත්තේ පසුගිය 2021 ජුනි 22 වැනිදා එන්නත් මාත්‍රා මිලියන 2ක් එක් එන්නතක් ඩොලර් 15 බැගින් වන බවත් නැවත දින 21ට පසු එනම් ජුලි 13 වැනි දින ද එන්නත් මිලියන 2ක් ඇනවුම් කර ඇත්තේ එක් මාත්‍රාවක් ඩොලර් 7 බැගින් වන බවත් මෙහිදී රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මුලින් ඩොලර් 15 බැගින් වූ එන්නත් මාත්‍රාවක් පසුව ඩොලර් 7ක් බවට පත් වූයේ කෙසේද යන්නත් ඒ අනුව මේ එන්නත් මාත්‍රාවක සැබෑ මිල ඩොලර් 7 බවත් ඔහු අවධාරණ කරයි.

ඒ අනුව එම ගනුදෙනුව හරහා රු කෝටි 320ක වංචාවක් සිදුකර තිබෙන බවයි, මන්ත්‍රීවරයා පැහැදිලි කළේ.

සිදුව ඇති මෙම ගනුදෙනුව ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

“අද මෙන්න මේ වගේ දේවල් කරන්න ගිහින් තමයි, රට පුරා කොරෝනා වසංගතය පැතිරිලා තියෙන්නේ. අද එක පැත්තක ඩොලර් නැහැ කියනවා බඩු ගේන්න.කන්න නැහැ මිනිස්සුන්ට. බෙහෙත් නැහැ රෝහල්වල.

නමුත් ඒ ඩොලර් වැඩිපුර වියදම් කරනවා, ඩොලර් 15 ගානේ.ගණන් හදාගන්නවා එක එක්කෙනාගේ සාක්කුවලට යන්න. මේක හින්දා තමයි මේ රජයේ ඉන්න අය පුළුවන් ඉක්මනට හම්බකරගන්න හදන්නේ.

මොකද කාලය ඉතා කෙටියි කියල දන්නවා. මේක සිදුවුණේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ කාලේ. දැන් ඒ සභාපතිවරයා ඉක්මණටම පැනල දිව්වා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස