පාස්කු ප්‍රහාරකයින්ට මහ බැංකු හොරුන්ට දැඩි දඬුවම් දෙනවා…! – ජනපති…

February 4, 2021 at 5:19 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

73 වන නිදහස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මෙම මහා අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු සෑම දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන් වෙත ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

කොවිඩ්  වෛරසය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එන්නත් කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.

සෑම අවස්ථාවක දී ම රටේ මහජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශව ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම විට ම විචාරණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවයි.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට විකිණීමට රජය කටයුතු නොකරන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම මර්මස්ථාන දියුණු කිරීම සඳහා විදේශ ආයෝජන එක් කර ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කරුණු ප්‍රචාරණය කරන අයවලුන්ගේ යටි අරමුණු සම්බන්ධයෙන් විචාරණ බුද්ධියෙන් ජනතාව කටයුතු කළ යුතු බව ද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. ඊට සහය වීමට තාක්ෂණික නව්‍යකරණය සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතී. දුප්පත්කම තුරන් කිරීම, දේශීය ව්‍යාපාරිකයින් ගොඩනැගීම ඇතුළු  අරමුණු සපුරා ගැනීමට පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එසේ වුවත් රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවක් දකින්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිළෙති. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි  බාධාවකි. ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබේ. එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවන්නැයි එතුමා සියලුදෙනාට ආරාධනා කරනු ලැබුවේ ය.

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමටය. ඒ සඳහා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස