සතොස සහන මල්ල පෞද්ගලික අංශයෙනුත් ලබා දෙනවා නම් මොන තරම් හොඳ ද..! – වෙළෙඳ ඇමැති…

April 5, 2021 at 6:52 pm | by emanisa.lk

සතොස සහන මල්ල එම ගුණත්වයෙන් හා ප්‍රමාණයන්ගෙන්ම පෞද්ගලික අංශයෙන් ද ලබා දෙන්නේ නම් එය අගය කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) දින වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සතොස සහන මල්ල ලබා දීම තුළ වෙළෙඳපොළ ඇති වී ඇති සුවිශාල වෙනස පිළිබඳ සිය අදහස් දක්වමිනි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වඩා සාධාරණ මිළ ගණන් යටතේ ජනතාවට ලබා දීම හා එතුළින් දේශීය නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් සැකසීම තුළ දිගු කාලීන වශයෙන් රටට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් කරා සමස්ත පාරිභෝගිකයා මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මඟින් පාරිභෝගිකයාට ලබා දෙන භාණ්ඩ වර්ග 12ක් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින් ඒ ඒ භාණ්ඩයට රජයෙන් ලබා දී ඇති වගකීමත් එහි ප්‍රමිතිය පිළිබඳව ලබා දී ඇති සහතිකයත් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

එමෙන්ම මෙම භාණ්ඩ වර්ග 12 සඳහා ඊට අඩු මිළක් ලබා දෙන බවට විවිධ වෙළෙඳසැල් විසින් සිදු කර ඇති ප්‍රචාරක කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ඒ ඒ අලෙවිසැල් වලින් භාණ්ඩ වර්ග 12ම අඩංගු වන පරිදි ලබා ගත් භාණ්ඩ පාර්සල් පිළිබඳව සැබෑ තතු හෙළි කළ අමාත්‍යවරයා ඉන් සමහර අලෙවිසැල් වලින් ප්‍රමාණාත්මකව අඩු භාණ්ඩ ලැයිස්තුවක් රු.දහසකට වඩා අඩුවෙන් ලබා දී ඇති බවත්, ඉන් සමහර අලෙවිසැල් මඟින් ගුණත්වය පිළිබඳව වගකීමක් ලබා දිය නොහැකි භාණ්ඩ එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් සඳහන් කරන ලදී.

මීට අමතරව සමහර වෙළෙඳසැල් මඟින් උක්ත භාණ්ඩ වර්ග 12 සඳහා රු.1300/= ඉක්මවන මිළ ගණන් ප්‍රකාශ කර ඇති ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලද අතර ඊට සාක්ෂ්‍යය වශයෙන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කර ඇති වෙළෙඳපොල මිළ ගණන් පරීක්ෂා කිරීම සඳහා ලබා ගන්නා ලද භාණ්ඩ හා එම භාණ්ඩ සඳහා ලබා ගත් ලදුපත් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලදී.

පාරිභෝගිකයා වෙත සතොස හරහා ලබා දෙන සහන මල්ල පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම චෝදනා, පාරිභෝගිකයාට වත්මන් රජය විසින් ලබා දෙන මිළ සහන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන්නක් පමණක් වන බවත් අවධාරණය කරන ලද අමාත්‍යවරයා ඒ අනුව සතොස සහන මල්ල පිළිබඳව විපක්ෂ නායකවරයාගේ චෝදනාව තරයේ හෙළා දකින බව ද ප්‍රකාශ කරන ලදී.

මාධ්‍ය ඒකකය
වෙළෙඳ අමාත්‍යාං

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස