සජිත් එක්ක දේශපාලනේ කිරීමට වඩා සමුගන්න එක සැපයි! – තෙවරප්පෙරුම

August 16, 2020 at 11:25 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමග එක්ව ගමනක් යෑමට තමාගේ කිසිදු සූදානමක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම පවසයි.

එජාපයේ ගරුත්වය ආරක්‍ෂා කර ගනිමින් දේශපාලනයේ යෙදෙන තමා නොගැළපෙන පුද්ගලයන් සමග එක්ව දේශපාලනය කිරීමට සිදුවන්නේ නම් පූර්ණකාලීනවම දේශපාලනයෙන් සමුගැනීමට වුව ද සූදානම් යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහ මැතිවරණයේදී තමා අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් මැතිවරණ කොමිසම නීති තර්කයක් ගෙන එමින් එය වැළැක්වීමට ක‍්‍රියා කළ බව ද හිටපු මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

එජාපයේ නායකත්වයට යම් ව්‍යාකූලත්වයක් සේම එක්තරා ආකාරයේ පොරයක් ද පවතින බව සඳහන් කළ තෙවරප්පෙරුම මහතා එයට වඩාත් සුදුස්සකු ලෙස හිටපු කථානායක, පරිණත දේශපාලනඥයකු වූ කරු ජයසූරිය මහතා සුදුසු යැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.

කවුරුන් එජාපයේ නායකයා ලෙස පත්වුවත් තමා පෙනී සිටිනුයේ සහ වැඩ කරනුයේ පක්‍ෂයට බවත් කිසිදු පුද්ගල චරිතයක් තමනට වැදගත් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

පවතින තත්ත්වය කෙසේ වුවත් එජාපයට නැවත නැඟී සිටිය හැකි බව විශ්වාස බවත් වරක් මහියංගණය පමණක් ජයගත් එජාපයට මෙවර ලැබූ පරාජය ඉතා ඉක්මනින් අමතක කර යළි නිවැරදි පීල්ලට පැමිණිය හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස