සජිත්ගෙ පක්ෂෙ එක්ක බෑ …! පුද්ගලයෝ මට වැදගත් නෑ..! 43 සේනාංකයෙන් නව ⁣ගමනක් ඇරඹුවා…! – පාඨලී…

February 7, 2022 at 6:40 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒ සමඟ නොගැළපීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් මූලික වූ බව පවසන චම්පික රණවක, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහු යෝජනා කිරීම සඳහා පුරෝගාමී වූයේ තමන් බව ද පවසයි.

එහෙත් පසුකාලීනව සමගි ජන බලවේගය සමඟ තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.

මෙරට දේශපාලනයේ කඳවුරු නොමැති බව පවසන පාඨලී චම්පික රණවක තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බව ද අවධාරණය කරයි.

කෙසේ නමුත් තමන් සමගි ජනබලවේගය පක්ෂයට එරෙහිව හෝ විරුද්ධව කටයුතු නොකරන බව පවසන චම්පික රණවක, සඳහන් කරන්නේ රටේ විපක්ෂ කාර්ය භාරය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සමගි ජන බලවේගය සමග කටයුතු කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයකු වී ඇති බවයි.

විභාග කොට අවසන් කර ඇති නඩු විභාගයක් නැවත ඉදිරියට ගෙන බිය වැද්දීම් සහ විවිධ අඩත්තේට්ටම් සිදු කරමින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව ද පාඨලී චම්පික රණවක එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරයි.

රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක බැසිල් රාජපක්ෂ වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබා දීමට බවට ද පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස