චම්පකගේ ’43 කල්ලිය’ට සමගි බලේ ඇවිළෙයි….! සජිත්.. හර්ෂ…ෆොන්සේකා සහ ඉමිතියාස්ගෙන් දැඩි ප්‍රහාරයක්…! අසරණ පාඨලි මන්ත්‍රී හමුවෙන් පළා යයි…!

January 5, 2021 at 8:03 am | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක 43 සේනාංකය නමින් වෙන ම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ බලවත් විරෝධයට ලක්ව ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත්​ ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) සවස පැවැත් වූ අවස්ථාවේ මෙම තත්ත්වය මතුව තිබේ.

චම්පක රණවකගේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇති 43 ව්‍යාපාරය කුමක්දැයි ආචාර්ය හර්ෂ ද සිල්වා එහි දී ප්‍රශ්න කොට තිබේ. ඊට පිළිතුරු දෙමින් චම්පක රණවක පවසා ඇත්තේ එම ව්‍යාපාරය සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගයට සෘජුව එක්වීමට අකමැති අය එක්කර ගැනීම සඳහා බව ය.

එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක්ම ඊට විරෝධය පළ කර තිබේ.

ඔවුන් සියලුදෙනාගේ ම මතය වී ඇත්තේ කුමන දේශපාලන ව්‍යාපාරයක් වුව ද පක්ෂයට අනුබද්ධ සංවිධානයක් ලෙස පවත්වා ගෙන යා යුතු බව ය.

තමන් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන නිදහසට කරුණු දැක්වීමට චම්පක රණවක දිගින් දිගටම උත්සාහ කොට ඇතත් සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ වෙන ම කණ්ඩායම් බිහිකිරීම පක්ෂ විරෝධී කටයුත්තක් බවය. එසේම මේ මොහොතේ පක්ෂය සමග එක් නොවන පිරිස් අනාගතයේ එක්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද සජිත් ප්‍රේමදාස පෙන්වා දී තිබේ.

මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වූ විරෝධය නිසා අවසානයේ චම්පක රණවක මන්ත්‍රීවරයා රැස්වීම අවසන් වීමට පෙර ඉන් පිටව ගොස් තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස