සජබෙ 21ට පයින් ගැහුවොත් ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට විසි වෙනවා…! – බාකිර් මාර්කර්….

June 3, 2022 at 4:11 pm | by emanisa.lk

ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දෙමින් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තව දුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් පවසයි.

රට ගැන කැක්කුමක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට කැපවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද කීවේය.

“නීතිඥ සංගමය, අපේ රටේ විද්වතුන්, ආගමික නායකයන්, තරුණ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනා ඉල්ලපු යෝජනා තමයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව ඉදිරියේ තබා ඇති 21 වන සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුව පිළිගත් විසිඑක් වන සංශෝධනය සමගි ජන බලවේගය ඉදිරිපත් කළ සංශෝධනයයි. ඒක පළමුවර කියවීමත් අනුමත කරලා තියෙනවා. කෙටි කලක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඕන්නම් කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවේ උදවියට මේකට සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. ජනතාව ඉල්ලන මේ සංශෝධන ඇයි ප්‍රමාද කරන්න හදන්නේ කියලා අපි අහනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ගෞරවය දිනා ගන්න පුළුවන් විදියට ගමනකට යන්න තවමත් මේ ආණ්ඩුව මැලිකම් දක්වනවා. මේ ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට තමයි ගමන් කරන්න හදන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අගෞරවයට අපේ රට පාත්‍ර කරන්න හදනවා. දැන්වත් මේ වෙලා තියෙන දේවල්වලින් පාඩම් ඉගෙන ගන්න. උප්පරවැට්ටි යොදලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්න ගන්න උත්සාහයන් නැති කරන තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. මේ සඳහා වත් රජය ඇතුලේ ඒකමතිකත්වයක් නැහැ. අපේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඉස්සරහ මේකෙන් හෑල්ලුවට ලක් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *