ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර විනිසුරුවරු බෞද්ධ! අඩපණ කරන්න දෙන්නේ නෑ!

February 11, 2019 at 3:21 am | by admin

විනිසුරුවරුන්ට මඩ ගසමින් ශ්‍රේෂ්ඨාධිකරණය අඩපණ කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

මීට ඉහතදී අගවිනිසුරුවරිය ඉවත් කර ශ්‍රේෂ්ඨාධිකරණය අඩපණ කිරීමට උත්සාහ ගත් බවත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය අඩපණ කරන්නේ විනිශ්චයකාරවරුන්ට අපහාස කර බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වැරැද්දක් තිබෙනවා නම් ඔවුනට මඩ නොගසා පාර්ලිමේන්තුවට ගොස් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

තමාට කවුරු හරි බැන්නොත් ඒ තැනැත්තාට අපහාස කිරීම හෝ කරුණු කියා බේරීමට හැකි වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එල්ල කරන මඩවලට උත්තර දීමේ හැකියාවක් නැති බවත් අගමැතිවරයා කීය.

පසුගිය වසර හතර තුළ අධිකරණය ස්වාධීන ආයතනයක් කිරීමට ආණ්ඩුව ක්‍රියා ‍කළ බවත් ඒ සඳහා විනිසුරුවරුන් පත් කිරිමට දේශපාලනයෙන් තොර ව්‍යවස්ථාදායක සභාව පත් කළ බවත් කී අගමැති වික්‍රමසිංහ මහතා මේ ක්‍රමය මුලින්ම ගෙන ආවේ 2001 දී බවත් එයින් රාජ්‍ය ආයතන ශක්තිමත් වූ බවත් කීය. ආසියාවේ අනෙක් රටවල් මේ දෙස බලා සිටින බවත් අද විපක්ෂය පවා අධිකරණය විශ්වාස කරන තත්ත්වයකට පත් ව ඇති බවත් පැවසීය.

ඇතැමුන් විනිශ්චයකාරවරුන්ගේ ආගම් ගැන කථා කරන බව කී අගැමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේන් බහුතරයක් සිංහල බෞද්ධ බවත් දෙදෙනෙක් කතෝලික බවත් කීය. ආගම් ඇදගෙන බනින එක වැරදි බව පෙන්වා දුන් අගමැතිවරයා තීන්දුවල වැ‍රද්දක් ඇතිනම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ විග්‍රහ කරන්න ඕනෑම මන්ත්‍රී කෙනෙකුට අයිතිය ඇති බවත් කීය. ඒත් පුද්ගලිකව මඩ ගහන්න බැහැ යැයිද කීය.

මෙවැනි මඩ ගැසීම්වලට එරෙහිව ක්‍රියා කරන බව කී අගැමතිවරයා ආණ්ඩුව රට තුළ ඇති කළ නීතිමය රාමුව කැඩීමට හෝ අඩපණ කිරිමට කිසිවෙකුට ඉඩක් නොදෙන බවද කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රුපියල් ලක්ෂ 620ක වියදමින් ඉදිකළ නියාගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පෙරේදා (09) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *