ජනපති අගමැති ගැටුම දුරදිග යයි! රටම අවුලක! දෙපාර්ශවයම කඳවුරු බඳියි! ඕනෑම මොහොතක පෙරළියක්!

February 2, 2019 at 4:02 am | by admin

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ අතර හටගෙන ඇති විරසකය නිසා ආණ්ඩුවත් රටත් අස්ථාවර වී බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්වෙමින් තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඇතිවූ දේශපාලන බල පෙරළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සහ එක්සත් ජාතික පක්‍ෂය ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ විරසකයට බලපා ඇති ප්‍රධාන හේතු වෙයි.

මේ තත්ත්වය සමඟ ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා වන විධායක ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය නොසලකා හැරීමක් දැන් සිදුවෙමින් පවතින බව බැලූ බැල්මටම පෙනෙන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එයට ප්‍රතිචාර දක්වමින් මේ දිනවල නොයෙක් ක්‍රියාමාර්ගවල යෙදෙමින් සිටී. ජනාධිපතිවරයා පසුගිය දිනවල පිලිපීන සහ සිංගප්පූරු නිල චාරිකා සඳහා නිරත වෙද්දී මුලදී මෙන් රජයේ මැති ඇමැතිවරුන් කැඳවාගෙන යෑම වෙනුවට දැන් ප්‍රමුඛත්වය දී තිබෙන්නේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ටය. ජනාධිපතිවරයා මේ නිල සංචාරවලදී රජය වෙනුවෙන් සහභාගි කරවා ගන්නේ විදේශ ඇමැතිවරයා පමණි.

මේ අතර කැබිනට් මණ්ඩලය වෙත ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනා පිළිබඳ එජාප ඇමැතිවරුන් සැලකිල්ලක් නොදක්වන බව පසුගිය අඟහරුවාදා (29දා) පළාත් සභා මැතිවරණය මැයි 31ට පෙර පැවැත්වීමට ජනාධිපතිවරයා ගෙන එන ලද යෝජනාව අනුමත නොකොට ඊට කල් ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් ලෙස වාර්තා විය. එමෙන්ම ජනාධිපතිවරයා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස නිර්දේශ කළ දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමද මේ විරසකයේ තවත් අවස්ථාවක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.

එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් සැලකිල්ලට නොගෙන රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය මංගල සමරවීර මහතා යටතේ ඇති මුදල් අමාත්‍යාංශය විසින් ඉවත් කිරීමද ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙහි ගැටුම සමාජය ඉදිරියට පැමිණි අවස්ථාවක් බවට පත්වී ඇත. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කොට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීම වැරැදි බවට සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (29දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත කිරීමෙන්ද එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරු වැළකී සිටියහ.

මේ අතර පසුගියදා (31දා) හොරණ ඔලබොඩුවේදී පැවැති උත්සවයකදී තමන් නව ව්‍යවස්ථාව දැකලා නොමැති බව ප්‍රකාශ කරමින් යම්කිසි දේශපාලකයෙක් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විදේශ බලවේගවල සහාය ලබා ගන්නේ නම් එය රටේ අවාසනාව මෙන්ම රටට කරන බලවත් ද්‍රෝහිකමක්ද වන බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා චෝදනා කළේ එජාපයට ඇඟිල්ල දිගු කරමින්ය.

නව ව්‍යවස්ථාව දකුණ නොසන්සුන් කරන උතුර රවටන්නක් බවටද හෙතෙම චෝදනා කළේය. මේ තත්ත්වය හමුවේ තමන්ටද එජාපය පහර පිට පහර ගහන බවටද ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය.

නව ව්‍යවස්ථාව ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාවලියක් වෙද්දී ජනාධිපතිවරයා ජනතාව හමුවට ගොස් මෙවැනි චෝදනාවක් කිරීම ආණ්ඩුව ඉරිතළා බිඳී යන තත්ත්වයට මෝදුවෙමින් තිබෙන බවට කදිම නිදසුනකි.

මේ පසුබිම හමුවේ ආණ්ඩුවේ පිපිරීම නතර කර ගැනීම සඳහා යළිත් ජාතික ආණ්ඩු යෝජනාවක් එජාප පාර්ශ්වය වෙතින් ඉදිරිපත් කොට තිබේ. ඊට අදාළ යෝජනාව පෙරේදා (01දා) සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත යොමුකොට තිබිණි.

මේ අතර විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද ජනාධිපතිවරයාගෙත් එජාප ආණ්ඩුවෙත් විරසකය පිළිබඳ අදහස් දක්වා තිබිණි. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කොට එජාපයට අවනත අයකු පත්කර ගැනීම ඊට උදාහරණයක් ලෙසද ඔහු පෙන්වාදී තිබිණි. එමෙන්ම ජනාධිපති – අගමැති සීතල යුද්ධයෙන් කැබිනට් යෝජනා ඇනහිටින බවද ඔහු කියා තිබිණි.

රටේත්, ආණ්ඩුවේත්, කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා වන විධායක ජනාධිපතිවරයා නොසලකා හරිමින් කටයුතු කිරීම ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම බලවත් බාධකයක් ලෙසට දිනෙන් දින උත්සන්න වෙමින් පවතින්නේය.

පසුගිය 2001-2003 එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කාලයේද මෙවැනි විරසකයක් හටගත් අතර එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමාත්‍යාංශ 3ක්ද තමන් යටතට පවරා ගත්තාය. එතැනින් නොනැවතුණු ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අවසන් වූයේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වීමෙනි.

දෙනගම ධම්මික රණවීර
මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *