ශ්‍රීලනිපය ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පෙරට එයි! ජනවාර්ගික වෛරය සාපරාධි වරදක් කිරීම ෆුල්ෆේස් හෙල්මට් සඳහා නීති ඇතුළු යෝජනා 11ක්!

May 27, 2019 at 10:12 pm | by admin

සියල්ලට පෙර කළ යුතු ප්‍රමුඛතම කාර්යය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අද වන විට ආරක්ෂක අංශ විසින් රට සාමකාමී තත්ත්වයකට ගෙන ඇති බව සැබෑය. එනමුත් නූතන ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා රටට නව නීති හා අණපනත් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බවට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මේ පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජාතීන් අතර සමගිය, ආගම් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහාත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට යෝජනා කළෝය.

ඒ සඳහා කරුණු එකොළහකින් සමන්විත යෝජනාවලියක් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව වෙත තමන් භාරදුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ‍ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවැසීය. එම යෝජනාවලියේ අඩංගු කරුණු එකොළහ වනුයේ,

ජාතීන් ආගම් ජන කණ්ඩායම් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම සමාලෝචනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතුය. ඒ සඳහා ජාති ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

වාර්ගික, ආගමික හා භාෂා ලෙස අධ්‍යාපන ආයතන වර්ග කිරීම වෙනුවට, සියලු ජාතීන් හා ආගම් භේදයෙන් තොරව සියලු දරුවන්ට එක් වහලක් යට අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය. හැකිතාක් සමානාත්මතාවයන්ගෙන් යුක්ත වූ අධ්‍යාපන ආයතන පිහිටුවිය යුතුය.

රටේ සියලුම පාසල්වලට ඉගැන්විය යුත්තේ ශ්‍රී ලාංකික එක් ජාතික විෂය නිර්දේශයක් පමණක් විය යුතුය. විෂය නිර්දේශ කළ ජාතික සමගිය, මිත්‍රත්වය, සුහදත්වය, ජාතික අභිමානය වර්ධනය වන ලෙස විෂය නිර්දේශ සකස් කළ යුතුය. මෙරට ඉතිහාසය, සමාජ විකාශනය, සංස්කෘතිය, දේශාභිමානය සහිත පෞරුෂයෙන් යුත් අනාගත පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපනයේ පරමාර්ථ විය යුතුය.

සියලුම පාසල්, අධ්‍යාපන ආයතනවල, අරමුණු, විෂය නිර්දේශ හා අධ්‍යයන ක්‍රමවේදයන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මුළුමනින්ම මෙහෙයවිය යුතුය. රටේ උසස් අධ්‍යාපනය සඳහා වූ විශ්වවිද්‍යාල පාඨමාලාවන්ද මීට සමගාමී ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුය.

කවර විෂය ධාරාවක් යටතේ අධ්‍යාපනය කළද මෙරට ඉතිහාසය, සංස්කෘතිය, මව් භාෂාව, උරුමය පිළිබඳ අවබෝධය විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුය. සමාජ දර්ශනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ඇතිකළ යුතුය. සියලු උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදිය යුතුය. එසේම මෙරට වෘත්තීය පුහුණු, තෘතීය පුහුණු පාඨමාලා සඳහා ජාතික සංස්කෘතික උරුමයන් හා ජාතියේ දර්ශනය පිළිබඳ මගපෙන්වීමක් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ඇතිකළ යුතුය.

මෙරට පෙර පාසල් අධ්‍යාපනය මුළුමනින්ම අනාගත නිර්මාණශීලී ජාතික අරමුණු සඳහා සූදානම් කරන අඩිතාලමකින් මෙහෙයවිය යුතුය. මිත්‍රත්වය එකිනෙකා වටහා ගැනීම, අවබෝධය ඇති කිරීම සඳහා මගපෙන්වීමක් ලබාදිය යුතුය. එය මුළුමනින්ම ලෝකයේ සෑම දියුණු රටකම පාහේ මෙන් රාජ්‍ය වගකීමක් ලෙස පාලක රාජ්‍ය අමාත්‍යාංශයක් යටතට පත්කළ යුතුය.

මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය. විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික දරුවන්ද මෙරට සංස්කෘතික හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ, වැඩමුළු පැවැත්වීමට මෙරටට පැමිණෙන්නන් රටට ඇතුළ්වීමට පෙර විශේෂ පරීක්ෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුය.

ජාතික ආරක්ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් (ෆුල්ෆේස් හෙල්මට්, බුර්කාව වැනි ඇඳුම්) පැලඳීම වැළැක්වීම සඳහා ආගමික නායකයන් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත ඊට නීතිරීති සම්පාදනය කළ යුතුය.

ජාති, ආගම්, කුල, ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කළ යුතුය.

ආගමික සිද්ධස්ථාන හා යාච්ඤා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව ‍පොදු නීතිරීති සම්පාදනය කළ යුතුය.
ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇති කිරීම වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳව නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

ජාතික ආගමික සහජීවනය මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් ආගමන විගමන නීති සම්පාදනය කළ යුතුය.

විවිධ රටවලින්, සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන්ද යන්න නිසි අධීක්ෂණයට හා පාලනයකට අදාළ නීති සම්පාදනය කළ යුතුය.

අන්තර්ජාල තොරතුරු හා මුහුණු‍පොත් මගින් සිදුකරන අනිසි පෙලඹවීම් හා සාපරාධී අරමුණු වෙනුවෙන් වූ තොරතුරු පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය, යන්නයි.

මෙම යෝජනාවලිය පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටුව වහා ක්‍රියාත්මක වීමේ පිළිබඳව පළමු සාකච්ඡාව ඉකුත් 17 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පවත්වා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද සහභාගි වූ බවද ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම යෝජනාවලිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරියේදී තවදුරටත් අධ්‍යයනය කරනු ඇත. එකී යෝජනාවන්ට අදාළ වන විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමගද මෙම කාරක සභාවේ නියෝජිතයන් විසින් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව තුළ ජාතික ආරක්ෂාව පිළිබඳව මෙවැනි අධීක්ෂණ කාරක සභාවක් තිබෙන බව රටේ යම් කතාබහක් ඇතිවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අදාළ යෝජනාවන් එම කමිටුවට භාරදීමත් සමගය. මෙහි සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක කටයුතු කරන අතර සෙසු පක්ෂවලින් ඒ සඳහා නියෝජිතයන් පත්කර තිබේ. කෙසේ වෙතත් මෙහි ඝණපූර්ණය සකස් වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ට වැඩි අවස්ථාවක් දෙමිනි.

පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් කොපමණ ඉදිරිපත් වුවත් එකී යෝජනාව නීතියක් බවට පත්වන්නට නම් ඒ සඳහා පනත් කෙටුම්පතක් නිර්මාණය කළ යුතු වේ. එබැවින් මෙකී යෝජනාවලිය පිළිබඳව සියලු අධ්‍යයනයන් අවසන් කළ පසු මීට අදාළ දළ කෙටුම්පතක් සකස් කෙරුණු ඇත. පසුව එම දළ කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් වෙත ලබාදේ. ඉන්පසු නීතිපති මගින් මේ සඳහා පනත් කෙටුම්පතක් නිර්මාණය කරගත යුතුය.

මේ සමග මේ සඳහා මහජනතාවට අදහස් දැක්වීමට අදාළ පනතට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම් අධිකරණය හමුවට යාමටත් ඉඩකඩ ලබාදිය යුතුය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත පිළිබඳ සිය නියෝගය කථානායකවරයා වෙත දැනුම්දිය යුතුය. මේ අතර අදාළ පනත සඳහා කැබිනට් අනුමැතියද ලබාගත යුතුයි.

මෙකී ක්‍රියාවලිය නිමවීමෙන් පසු අදාළ පනත පිළිබඳ විවාදය පවත්වන දිනය නියම කරගත යුත්තේ සභානායකවරයා සහ කථානායකවරයාගේ මූලිකත්වයෙනි. අවසානයේ මෙකී පනත සම්මත වුවහොත් කථානායකවරයා ඒ සඳහා තබන අත්සනින් පසු මෙය රටේ වලංගු නීතියක් බවට පත්වනු ඇත.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය එසේ වුවත් නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනා පිළිබඳ සැලකිලිමත් වීමේදී එම යෝජනාවන්ට අනුව ඇතැම් විට පවතින පනත් සංශෝධනය කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරීමට හෝ පවතින පනත්වලට අදාළව නව රෙගුලාසි නිකුත් කර හෝ අදාළ යෝජනාවන් නීති පද්ධතියට ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ඇත.

මෙවැනි නව නීති පද්ධතියකට රට යටත් කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වන බව පෙන්වාදෙන ඔහු මෙය සාර්ථක කර ගැනීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටම වගකීමක් ඇති බවද පවසයි.

මෙවන් පසුබිමක අගමැතිවරයා ප්‍රතිත්‍රස්ත පනතක් පිළිබඳව කතා කළේය. නමුත් එකී ප්‍රතිත්‍රස්ත පනත මෙම ත්‍රස්තවාදය සඳහා මුහුණදීමට අවශ්‍ය දෙයක් නොවන බවට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයන්ගේ අදහසයි.

දැනට අපේ රටේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම ත්‍රස්තවාදයට මුහුණදීමට ඇති තරම් ප්‍රමාණවත් බවද විපක්ෂය පෙන්වා දෙයි.

ලක්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස