ශ්‍රීලංකන් සමාගම විනාශ කළේ වත්මන් ආණ්ඩුවේ අසාර්ථක පරිපාලනයයි! – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරීන්ගේ සංගමය

March 9, 2019 at 7:47 pm | by admin

පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කළමනාකාරීත්වය ගත් වැරදි තීන්දු නිසා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ පාඩුවක් සමාගමට සිදු වූ බවත් එම මුදල නැවත සමාගමට ආයෝජනය කරන්නේ නම් සමාගම නැවත ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

රට දරුණු යුද්ධයකට මුහුණ පෑ සමයේ ද 2010 පමණ වන තෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සාර්ථක ලෙස පවත්වා ගෙන යාමට හැකි විය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉතා ඉහළ කාලයක පවා සමාගම ලැබුවේ 10%ක පමණ පාඩුවකි. එකල සමාගමේ සමස්ත ආදායමින් 40-50%ක් පමණ ඉන්ධන මිල දී ගැනීමට වෙන් කිරීමට සිදු විය. එවැනි පසුබිමක වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 100-150ක පමණ පාඩුවක් සිදු විය.

එහෙත් 2014 වසරට පසු ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉතා වේගයෙන් පහළ වැටිණි. ඒ සමග ඉන්ධන පිරිවැය 40% සිට 20% දක්වා පහත වැටිණි. ඒ අවස්ථාවේ සමාගම එතෙක් අනුගමනය කළ ව්‍යාපාරික ක්‍රමවේදය දිගටම අනුගමනය කළේ නම් සමාගමට පහසුවෙන් ලාභ ලැබිය හැකිව තිබිණි. කෙසේ වුවද 2015 ජනවාරි 09 වෙනිදා සිට එතෙක් අනුගමනය කළ සැලසුම් අහෝසි කර වෙනත් සැලසුම් වෙත ගියේය.

ඒ වන විට ඇනවුම් කර තිබූ ගුවන් යානා ගිවිසුම් අවලංගු කිරීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් පමණ අදාළ සමාගමට වන්දි ලෙස ගෙවීමට සිදු වීමය. ඒ සමග පැරණි යානා මිලයට ගත් අතර එතෙක් 15-18%ක් පමණ වූ සමාගමේ ගුවන්යානා නඩත්තු වියදම 30-40%ක් පමණ දක්වා ඉහළ ගියේය. මේ නිසා ඉන්ධන මිල පහළ යාමේ වාසිය සමාගමට අහිමි විය.

මේ නිසා සමාගමට ලාභ ලැබීමේ හැකියාව අහිමි වී ඇති අතර ඊට හේතුව කළමනාකාරීත්වයේ වැරදි තීන්දුය. සමාගමට පිටින් බඳවා ගන්නා නිලධාරීන් සමාගමට නොව තමා පත් කළ අයට ළබැඳියාවෙන් කටයුතු කිරීම ඔස්සේ වැරදි තීන්දු ගැනීම එයට හේතුවයි. 2015ට පෙර පැවති ක්‍රමය අද දක්වා පැවතියේ නම් සමාගමට පහසුවෙන් ලාභ ලැබිය හැකිව තිබිණි. පසුගිය වසර තුනේ ගත් වැරදි තීන්දු නිසා සමාගමට අහිමි වූ ඇ.ඩො. මිලියන 300ක පමණ මුදල නැවත ආයෝජනය කරන්නේ නම් සමාගම නැවත ලාභ ලබන තැනට ගෙන යා හැකි බව එම සංගමය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *