ඩොලර් මිලියන 98ක් රටට අහිමි කර මිලියන 10ක් වංචා කළැයි ඇමති කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්!

March 5, 2019 at 7:58 pm | by admin

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීම අවලංගු කර රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබාගැනීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා “2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත අද දින (2019.03.05) පැමිණිල්ලක් ගොනු කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය පැරණි ගුවන්යානා ඉවත්කර ඒ සඳහා නව ගුවන්යානා විසි එකක් වසර 5ක් ඇතුලත ලබාගැනීම සඳහා Aer Cap නැමැති සමාගම සමග ගිවිසුමකට එළඹි බවත් ගිවිසුමට අනුව 2014 වර්ෂයේ අනිකුත් ගුවන්යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලැබී තිබූ අතර A350/900 එයාර් බස් වර්ගයේ ගුවන්යානා 2016 වර්ෂයේ සිට වසර තුනක් තුළ ලැබීමට නියමිතව තිබූ බවත් එසේ තිබියදී 2015 ජනවාරි මස 8 වන දින බලයට පැමිණි රජය ප්‍රතිපත්තිමය තීරණයක් මත ඇණවුම් කර තිබු A350/900 එයාර් බස් වර්ගයේ ගුවන්යානා මිලදී ගැනීම අවලංගු කිරීම නිසා ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් Aer Cap සමාගමට ගෙවීමට සිදුව ඇතැයි උපුල් විජේසේකර මහතා සිය පැමිණිල්ලෙන් ජනාධිපති කොමිසම වෙත කරුණු දක්වා සිටියේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වන සාක්ෂිද ජනපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරමින් උපුල් විජේසේකර මහතා ඉල්ලා සිටියේ කැබිනට් අනුමැතියකින් තොරව නීතිපතිගෙන් කරුණු නොවිමසා මෙම ගනුදෙනුවේදී කටයුතු කිරීමෙන් කබීර් හෂීම් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සිදුකර ඇති මෙම වරදට අපරාධ පනත අනුව හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි.

මෙම අවස්ථාව සදහා පක්ෂයේ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර සහ මොරටුව නාගරික මන්ත්‍රි කුමාර රාජරත්න යන මහත්වරුන්ද එක් විය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *