විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල පහත දැමිය යුතුයි…! – කාංචන…

March 7, 2024 at 4:57 pm | by emanisa.lk

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එසේ භාණ්ඩ හා සේවා මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේදී අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.

ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුළු පොදු සේවා ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමට නොමැති බවත් විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බව කී අමාත්‍යවරයා ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බව ද සඳහන් කළේය.

ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *