විකාශන පනතින් මාධ්‍ය ආයතන ලයිසන් 33ක් අහෝසියි…! නව බලපත් දීමේ බලය ජනපති අතට…!

June 10, 2023 at 12:02 pm | by emanisa.lk

ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යන විකාශන අධිකාරි පනත ක්‍රියාත්මක වුවහොත් මාස 6ක් ඇතුළත දැනට තියෙන විකාශන ආයතන සියල්ලෙහි ම ඇති බලපත්‍ර අවලංගු වන බව වාර්තා වේ.

දැනට රටේ විකාශන ආයතන 33ක් ක්‍රියාත්මක වන අතර ඒවා දැනට 1966 අංක 37 දරන ගුවන්විදුලි සංස්ථා පනත යටතේ සහ 1982 අංක 06 දරන රූපවාහිනි සංස්ථා පනත යටතේ ක්‍රියාත්මක වේ.

එම පනත ක්‍රියාත්මක වුවහොත් මාස 6ක් ඇතුළත දැනට තියෙන විකාශන ආයතන සියල්ලගේ ම බලපත්‍ර අවලංගු වී ඔවුන්ට අලුතින් බලපත්‍ර අයැදුම් කරන්නට සිදුවන අතර ඒ අනුව එම බලපත්‍ර නැවත දෙනවා ද – නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ ජනාධිපති පත්කරන පස් දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විසිනි.

මෙසේ ක්‍රියාත්මක කිරීමට නියමිත විකාශන අධිකාරී පනත ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ සතියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ කැඳවා තිබුණු රැස්වීමකට ලංකාවේ සියලු ම විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි විය.

විපක්ෂයේ වෙනත් පක්ෂ නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චරිත හේරත් හා චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මේ රැස්වීමේදී මාධ්‍ය ආයතන නියෝජිතයන් පෙන්වා දුන්නේ මේ පනත හරහා බරපතළ මාධ්‍ය මර්දනයකට ඉඩ සැලසෙන බව ය.

ඒ සමග වසරකට වරක් බලපත්‍රය අලුත් කිරීමට සිදුවන අතර වක්‍ර ආකාරයෙන් මාධ්‍ය නිදහස පාලනයකට ලක්වෙයි. එසේ ම මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ රැකියා ස්ථාවරත්වය ගැන ගැටලුවක් උද්ගත වන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.

මේ සාකච්ඡාවේදී එකඟ වී තිබෙන්නේ විද්‍යුත් මාධ්‍ය ආයතනවල ස්වයං නියාමනය සඳහා මූලික ලියවිල්ලක් මාධ්‍ය ආයතන නියෝජිතයන්ගේ සංගමය විසින් සකස් කළ යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *