වැලන්ටයින් දා සජිත්ලා හදවත පැත්තකට දමයි! අලියාගෙන් ඡන්ද සටනට සූදානම්! බැරිම වුණොත් හංසයා එන්න සූදානම්!

February 15, 2020 at 10:12 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නව සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඊයේ (14) එකඟ වී තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට දැනට යෝජිතව ඇති සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේ දී එජාප නායකයන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, නවීන් දිසානායක ද සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, චන්ද්‍රාණි බණ්ඩාර ද මෙම කමිටුවේ සාමාජිකයෝය.

මෙම විශේෂ කමිටුව පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊයේ රැස්වූ අතර එහිදී මේ බව තීරණය කර ඇත.

ඒ අනුව එම නව සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡනය වන ‘අලියා’ ලකුණ ලබා දීමේ නීතිමය තත්ත්වය පිළිබඳව ද සොයා බැලීමට ද එම පක්ෂය තීරණය කළේය.

මේ පිළිබඳ සොයා බැලීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (14) දිනයේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබිණි.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සඳහා ඒ අනුව ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායකත්වය කැමැත්ත පළ කළ බවත් ‘අලියා’ ලබා ගැනීමට නොහැකි වුවහොත් ‘හංසයා’ ලකුණෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම සාකච්ඡුා සාර්ථකයි. ඉදිරි මහ මැතිවරණයේදී ‘අලියා’ ලකුණ භාවිත කිරීමට දෙපාර්ශ්වයම කැමැති වුණා. අපි දැන් ‘අලියා’ ලකුණ දීමට හැකිදැයි කියා නීතිමය තත්ත්වය සොයා බලනවා. නීතියෙන් බාධාවක් තිබෙනවා නම් අපි ‘හංසයාගෙන්’ තරග කරනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස