මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භ වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බී.බී.සී. සිංහල සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේය.
කෙසේ වුව ද ඉදිරියට ඇත්තේ, මීටත් වඩා අමාරු කාලයක් බව ද එම හේතුව මත ආර්ථිකය එක දිගට එක දිශාවකට ගමන් කළ යුතුව ඇති බව ද අධිපතිවරයා අවධාරණය කළේය.
අඩි 2ක් ඉදිරියට ගොස් අඩියක් පස්සට ආවොත් පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගිය නොහැකි බව ද අවුරුදු 4ක් තුළ එක දිගට ආර්ථිකය එක දිශාවකට ගමන් කරවිය යුතු බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති මුල් ම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වන බවත් වසර 10ක් තුළ ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ණය ගෙවීම ස්ථාවර කර ණය ගෙවා අවසන් කළ යුතු බවත් අධිපතිවරයා පවසා සිටියි.
එහි සැලසුමේ කොටසක් දැනටමත් ආරම්භ කර ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල විශාල ප්‍රතිසංස්කරණ තිබෙන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඒ අතර වන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.
සමාජ ආරක්ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ දූෂණය නැතිකොට යහපාලය ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල අන්තර්ගත බවත් මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.