මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුවේ පූර්ණ සහාය ලබා දෙනවා…! – ජනපති..

May 28, 2022 at 7:46 pm | by emanisa.lk

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ අද (28) පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

පත්ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් මහ බැංකු අධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග එහි දී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වී තිබේ.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි මහ බැංකු අධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේ.

උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහි දී පැහැදිළි කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දේශපාලන මැදිහත්වීමකින් තොරව එම වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

මේ වනවිට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදුකරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවල දී රාජ්‍ය නායක මට්ටමින් මැදිහත්වීමට තමා සූදානම් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස