වායු බලාගාරය මුතුරාජවෙල ඉදිකරන කතා බොරු….! බලාගාරයට කෙරවළපිටියේ වැලි පුරවා අලුත් බිමක් හදනවා…! – පරිසර ඇමැති….

July 15, 2021 at 2:26 pm | by emanisa.lk

යෝජිත ස්වභාවික වායු බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ නොව කෙරවළපිටියේ වෙනත් ඉඩමක බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම බලාගාරය ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් වන බවට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු පිරිසක් චෝදනා කර තිබූ බව කී ඇමතිවරයා, ඉදිරි දෙසතිය තුළ ඒ සියලු පාර්ශ්ව සමග අදාළ ස්ථානයට ම ගොස් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද කීවේය.

මෙම ඉඩමේ වැලි පිරවීම සඳහා මුහුදෙන් වැලි පොම්ප කිරීමට යෝජිත බව කී ඇමතිවරයා ඒ සම්බන්ධ පරිසර වාර්තාව සම්බන්ධ මහජන අදහස් ලබා ගැනීමේ කාලසීමාව අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇතැයි ද පැවසීය. ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් යනු සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියක් බැවින් ඒ සම්බන්ධව කිසිවකුත් අකැමැති වේයැයි තමන් නොසිතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වසර 2030 වනවිට රටේ සමස්ත විදුලි බල සැපයුමෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය තුළින් නිපදවීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි කී ඇමැති මහින්ද අමරවීර කෙරවළපිටියේ ස්ථාපිත වන්නේ මෙරට දෙවන එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතිය බවද පැවසීය. එමගින් මුතුරාජවෙළ පරිසර පද්ධතියට කිසිම හානියක් නොවන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය කාලය තුළ ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ මෙම තෙත්බිමට අයත් ඉඩම් අක්කර 600ක් නැවත පවරා ගැනීමට තීරණය කර ඇති බවත්, එහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු ව්‍යාපෘති රැසක් නවත්වා මුතුරාජවෙළ විනාශ කරන්නන් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *