රේගු අර්බුදය ඔඩු දුවයි! ඇමති සාකච්ඡා බිඳ වැටෙයි! වරායේ බඩු ගොඩ ගැසෙයි!

February 2, 2019 at 1:47 am | by admin

රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය ගනු ලැබූ තීරණයට විරෝධය දක්‌වමින් කොළඹ වරායේ රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්‌ඩව ක්‍රියාත්මක බව රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති නියෝජිතයන් හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර ඊයේ (01 වැනිදා) දහවල් සාච්ඡාවක්‌ පැවැත්වුණද එයද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

රේගු නිලධාරීන් ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා කොළඹ වරායේ භාණ්‌ඩ නිෂ්කාශන කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් ඊයේ දහවල් වන විට විදේශයන්ගෙන් ආනයනය කළ භාණ්‌ඩ තොග විශාල වශයෙන් කොළඹ වරායේ සිරවී තිබූ බව වරාය ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මේ හේතුවෙන් ගෙවීගිය දින දෙකහමාරක කාලය තුළ කොළඹ වරායේ කටයුතු ඇනහිටීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන හතරකට අධික බවද හෙතෙම සඳහන් කළේය.

මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව ඊයේ කොළඹ වරායේ රාජකාරි සඳහා පැමිණි රේගු නිලධාරීන් ඉතා සංවේදී අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා පමණක්‌ රේගු නිෂ්කාශන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

එම කටයුතුවලින් අනතුරුව ඊයේ පස්‌වරු 4.30 ට කොළඹ වරායේ රාජකාරියට පැමිණි සියලු රේගු නිලධාරීන් සිය සේවය අවසන්කර පිටව ගොස්‌ තිබිණ.

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ හිතවතකු ආනයනය කරන ලද බාල ගම්මිරිස්‌ තොගයක්‌ තීරු බදු නොගෙවා නිදහස්‌ කර යෑවීමට ගත් උත්සාහයකට එරෙහි වීම රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය හිටිහැටියේ ඉවත් කිරීමට හේතු වූ බව ඊයේ වාර්තා විය.

රේගු අධ්‍යක්‌ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී. එස්‌. එම්. චාල්ස්‌ මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක්‌ වන රියර් අද්මිරාල් ආචාර්ය ශමෙල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා තීරණය කර තිබූ අතර රේගු නිලධාරීන්ගේ දැඩි විරෝධය නිසා එම පත්වීම් සිදු නොකෙරිණි.

ඉන් පසුව වැඩබලන රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස මහා භාණ්‌ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් එච්. සී. සුමනසිංහ මහතා පත්කරන ලදී.

එම පත්වීමද පිළිනොගන්නා බවට රේගු වෘත්තීය සමිති නියෝජිතයෝ පවසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පෙරේදා (31 වැනිදා) සිට යොමු වූහ.

සමන් ගමගේ
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස