රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරී, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නොවැ. 11 වන දා වැඩ භාර ගැනීමට නියමිත ය.
ඒ අනුව, එකොළොස් වන අටමස්ථානාධිපති හිමියන් ලෙස හේමරතන හිමි එදින පෙරවරු 7.00ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.
හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා අටමස්ථාන කාරක සභාව විසින් අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත් කිරීමට ඒකමතික තීරණය කෙරිණි.
ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අභියසදී අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මල්වට්ටියක් පිළිගැන්වීමෙන් පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියන් බෝ සමිඳුන් වන්දනා කර ආගමික වතාවත්හි නිරතව ආශීර්වාද ලබා ගැනීමට නියමිත ය.
අනතුරුව අභිනව අටමස්ථානාධිපති නාහිමියන් සිය ධූරයට පත්වීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධිය පහළ මළුවේ බෝ පැළයක් රෝපණය කිරීමට නියමිත අතර ඉන්පසු උන්වහන්සේ බෝ මළුව විහාරස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගැනීම සිදු කෙරෙනු ඇත.
එහිදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකූරයක් අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයකට ප්රදානය කිරීමට නියමිත ය.