රුවන්වැල්ලේ වෛද්‍යවරයෙකුට කොරෝනා! PCR කර තිබියදිත් රෝගීන්ට ප්‍රතිකර කරලා! පළමු පෙළ ආශ්‍රිතයන් 1500ක්!

November 28, 2020 at 3:06 pm | by emanisa.lk

සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ බටහිර වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

අඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන මෙම වෛද්‍යවරයා දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසකට ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ දින ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

කෙසේ වුවත් තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබිය දී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේ දී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීමේ දී මුහුණු ආවරණ පැළඳ සිට නොමැති අතර පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ පිරිසිදුකාරක දියර පවා ලබාදී නොමැත. එසේ ම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් චෝදනා කරයි.

පසුගිය දින 14ක කාලය තුළ දී මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස සලකන බවත් මේ වන විට ලැබෙන වාර්තා අනුව පුද්ගලයින් 1000-1500ත් අතර පිරිසක් ඔහුගෙන් එම දින වකවානු තුල ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වෙයි.

මේ අනුව කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස