රසායනික පොහොරට හුරු වූ ගෝවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කරයි…!

September 24, 2021 at 8:07 am | by emanisa.lk

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එක්වී කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එසේ පැවසීය.

අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම යන්න මෙවර එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ තේමාව වේ. එම සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් සිදුකරනු ලැබීය.

කොවිඩ් වසංගතය, ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවැති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත් දේශගුණික විපර්යාසයන් සමග එම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ලකරන රසායනික කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතක දී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සංධිස්ථානයක් බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී ඇත.

දීර්ඝකාලීනව රසායනික පොහොර සඳහා හුරුවූ ගෝවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම අභියෝගයක් බවත් පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සඳහා තාක්ෂණික සහ ද්වී පාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළේය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිවරයා අනෙකුත් ගෝලීය සංවිධාන හා විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායට ද සිය ස්තුතිය පිරිනමනු ලැබීය.

තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයින්ගේ අරමුණ වියයුතු අතර එහිදී මුහුණදීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්වී කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *