මේ ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් දෙන්න ඇවිත් තිබුණු රැකියා ලක්ෂ හතරහමාරක් නැති කළා! දැන් නිවාස ඇමතිගේ සිහින මාළිගාවලට කක්කුස්සි හද හද යනවා!

March 13, 2019 at 3:13 pm | by admin

රටේ සම්පත් විකුණා ගත් මුදලින් වැසිකිලි තනා ඒවා නඩත්තු කිරීමට පෞද්ගලික අංශයට භාර දෙන තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වූ මහින්ද රාජපක්‍ෂ මෙසේද කීය.

2006 ආරම්භයේදී අපි රජය භාරගන්නා විට, රාජ්‍ය ණය තොගය රුපියල් බිලියන 2,222 යි. එවිට, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව, ණය බරතාව සියයට 91 ක ඉහළ අගයක පැවතුණා. 2014 අග දක්වා අවුරුදු 9 ක කාලය තුළදී රාජ්‍ය ණය රුපියල් බිලියන 5,169 කින් වැඩිවී, රුපියල් බිලියන 7,391 බවට පත් වුණා. එහෙත්, එලෙස එකතුවූ ණය හරහා දැවැන්ත යටිතල පහසුකම් අපේ රටේ ඉදිකෙරුන බවත්, යුද්ධයට මුදල් වැය කළ බවත්, උතුරු නැගෙනහිර නැවත ගොඩනැඟූ බවත්, හැමෝම දන්නවා. ඒ අතරම, එම කාලය තුළ, රටේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ‍්‍ර ලෙස වර්ධනය වූ නිසා, දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, රාජ්‍ය ණය බරතාව සියයට 71 දක්වා අඩු වුණා.

එහෙත් 2018 අග වන විට, මුළු ණය ප‍්‍රමාණය රුපියල් ට්‍රිලියන 12 දක්වා වැඩි වී ඇති බවට ඇස්තමේන්තු කර තියෙනවා. ඒ අතර, අයවැය කතාවේ සටහන්වලට අනුව, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණයබරතාව සියයට 91 දක්වා භයානක මට්ටමකට වැඩිවී තිබෙනවා.

එපමණක් නොව, ණය තොගයේ ‘කල් පිරීමේ කාලය’ දෙගුණ කර ගැනීමටත් අප සමත් වුණා. ඒ සමගම, 2008 සිට 2014 කාලයේදී, අපි ගෙවූ පොලී අනුපාතයත් ක‍්‍රම ක‍්‍රමයෙන් සියයට 50 කින් පමණ අඩුකර ගන්නටත් අපට හැකි වුණා.

එහෙත් පසුගිය වසර 4 තුළ දී, ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සැලකිය යුතු ප‍්‍රමාණයකින් අයහපත් අතට හැරී තියෙනවා. පොලී අනුපාතය සියයට 60 කින් පමණ වැඩි කරගෙන, අද රට ණය උගුලක හිර කරගෙන ඇති බව හැමෝම දන්නවා. අගමැති රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ‘රජයට දැන් ණය ගෙවා ගැනීමට අපහසුයි’ කියලයි. මහ බැංකු අධිපති කියන්නේ ‘අද අප පෙරට වඩා දරුණු අවපාතයක’ සිටින බවයි.

අද අපේ රටේ රැකියා බිහිවෙනවා වෙනුවට, රටේ රැකියා කරමින් සිටි අයගේ රැකියා නැතිවේගන යනවා. 2014 අවසානයේදී සේවා නියුක්තිය වාර්තා වූයේ අසූහතර ලක්ෂ විසි හතර දාහක් (84,24,000) ලෙසයි. එහෙත් 2018 ජුනි වන විට, රැකියාවල යෙදී ඇති සංඛ්‍යාව හැත්තෑ නව ලක්ෂ හැත්තෑ දාහක් (79,70,000) දක්වා අඩුවෙලා. ඒ අනුව, අවුරුදු 3 1/2 ක් තුළදී රැකියා අවස්ථා හාරලක්‍ෂ පනස් හතර දාහක් (4,54,000)ක් අප ආර්ථිකයට අහිමිවෙලා. මේ ඛේදවාචකය පිළිබඳව එක වචනයක්වත් මේ මුදල් ඇමැති කියලා තියෙනවාද?

මේ ආකාරයට, මේ ඔස්තාර්වරු පැතූ ආර්ථික වාසි ලබා ගන්නට රට පාවා දුන් පසුවත්, 2015 සිට 2018 දක්වා වසර 4 සඳහා අපනයන සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 10.9 ක් පමණයි වාර්තා කරගෙන තියෙන්නේ. එනම්, 2014 දී, අප රජය කාලයේදී වාර්තා වූ අපනයන අගය වන ඇමරිකානු ඩොලර් බිලියන 11.1 කටත් වඩා අඩු අගයක්! මෙයින් පෙනී යන්නේ, දේශපාලනික අතින් දැවැන්ත ලෙස රට පාවා දුන්නද, ඒ හරහා වසර 4 ක් පුරා අපනයන වර්ධනය කර ගැනීමටවත් මේ ආර්ථික ඔස්තාර්වරුන්ට බැරිවූ බව නේද?

2015 සිට කොටස් වෙළෙඳපොළ දැවැන්ත ලෙස කඩාවැටී, අද වන විට, එහි ප‍්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 15.5 අගයකට අඩුවෙලා. එපමණක් නොව, දිනෙන් දිනම, තව දුරටත් පහත වැටෙනවා. මෙයින් පෙනී යන්නේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි. එම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක්වත් අපට පෙනෙන්න නැහැ. මහ බැංකුව කඩපු මහ හොරු රටේ ආර්ථිකය හසුරුවන විට, අප රටට ආයෝජකයන්ගේ විශ්වාසයක් දිනා ගැනීමට බැරිවීම පුදුමයක්ද?

අප රටේ විදේශ සංචිතත් දැන් භයානක ලෙස අඩුවෙලා. 2014 අවසානය වන විට, විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.2 දක්වා ඉහළ නංවාලීමට අපට හැකි වුණා. එම සංචිත ප‍්‍රමාණය මාස 5.1 ක ආනයනයන්ට සමාන අගයක්. එහෙත්, 2019 ජනවාරි 31 දින ශ්‍රී ලංකාව සතුව තිබූ විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.1 පමණයි. එය මාස 3 ක ආනයන හා සමාන මුදලක් පමණයි.

අද රාජ්‍ය සේවයද, මේ රජය අසහනයට පත් කරලා. තෝරාගත් සමහර ක්ෂේත‍්‍රවල, විශේෂයෙන්ම නීති ක්‍ෂ‍ෙත‍්‍රයේ, නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩි කරමින්, මුළු රාජ්‍ය සේවයේම විෂමතාවයන් ඇති කරලා. විවිධ බලපෑම් ඔස්සේ බොහෝ ක්ෂ්ත‍්‍රවල සේවය කරන නිලධාරීන්ගේ මානසිකත්වයත් අද කඩාවැටිලා. මේ සියලූ ප‍්‍රශ්නවලටත් අපගේ නව රජයක් මුහුණ දෙන්නට සූදානම් බව අප මතක්කර දෙන්නට අවශ්‍යයි. පසුගිය වකවානුවේදී, ඉතා සංවේදීව මෙවැනි ප‍්‍රශ්න විසඳුවා වගේම ඉදිරියේදීත් මේ ප‍්‍රශ්න විසඳන්නට අප කැපවී සිටින බවත්, මා මේ අවස්ථාවේදී කියා සිටින්නට කැමතියි.

මේ භයානක තත්ත්වයෙන් මිදෙන්නට, මේ රජයට කිසිම සැලැස්මක් නැහැ. මේ අයවැයෙන්, මේ දැවැන්ත ප‍්‍රශ්නවලට පිළිතුරු හොයනවා වෙනුවට, මුදල් ඇමැති කරන්නේ, ඉදිකිරීම් ඇමැති හැදුවයි කියපු සිහින මාලිගාවලට වැසිකිළි හදන්න මුදල් වෙන් කිරීම විතරයි.

අපගේ කාලයේ රජය දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වරායන්, ගුවන් තොටුපළවල්, රට පුරා මාර්ග පද්ධති, සෑම ගමකටම සංවර්ධන ව්‍යාපෘති, නගර අලංකරණය, වාරිමාර්ග යනාදිය, අපි කළා. මුළු රටටම විදුලිය ලබා දුන්නා. දුප්පත්කම සැළකිය යුතු මට්ටමකට අඩු කළා. රැකියා අවස්ථා ශීඝ‍්‍ර ලෙස වැඩි කළා. සියලූම ජන කොටස්වල ආදායම් වැඩිවූ නිසා, ඔවුන්ගේ සම්පත් වැඩිවනවාත් සමගම ඔවුන්ට අවශ්‍ය ආකාරයට නිවෙස් ලක්‍ෂ ගණන් හදා ගන්නට පුළුවන් වුණා. අද, මේ රජය අපි හදපු සම්පත් විකුණා, ඒ මුදල්වලින් තැන් තැන්වල වැසිකිළි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒවා හෝදන්නයි, නඩත්තු කරන්නයි තමයි, පෞද්ගලික අංශයෙන් ඔවුන් අද බලාපොරොත්තු වන දායකත්වය!

ජනතාව රවටන, වැඩ බැරි දූෂිත, බොරු කියන, අසංවේදී, රටට අහිතකර ආණ්ඩුවට තව දුරටත්, තවත් හපන්කම් එකතු කරන්නට ඉඩ තියන්න බැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස