රට වසා නොදමන තීන්දුව ගත් අවස්ථාවේ විමල්, වාසු, උදය හිටියේ නෑ….! – ඩලස්…..

August 24, 2021 at 7:29 pm | by emanisa.lk

රට වසා දැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල එහි නොසිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙම තීරණය ගනු ලැබූ පසුගිය සතියේ කැබිනට් රැස්වීමට මෙම අමාත්‍යවරුන් පැමිණ සිටියත් ඔවුන් එය අවසන්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් සඳහා පිටව ගිය බව ද ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීම රාත්‍රී 10.10 පමණ වන තුරු පැවැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායක රැස්වීමක් එදින රාත්‍රී 8.00ට කැඳවා තිබූ නිසා පක්ෂ නායකයින් ද වන මෙම අමාත්‍යවරු රාත්‍රී 9.00ට පමණ ඉන් පිටව ගිය බවත් ඇමතිවරයා කීවේය.

රට වසා නොදැමීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්‍රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූ බව ද සඳහන් කළේය.

ඔවුන් එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රට වසා දමන්නැයයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවද ඇමතිවරයා කීවේය.

ලෝකයේ ඕනෑම සන්ධාන දේශපාලනයක් තුළ විවිධ මතගැටුම්, යෝජනා, අදහස් ක්‍රියාත්මක පවතින බව කී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නැති බවත් එය නිරෝගී ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස