රටේ මන්දපෝෂණය දුරු කරන්න පාලකයෝ කටයුතු කර නෑ…! – මෛත්‍රී…

November 17, 2021 at 5:26 pm | by emanisa.lk

මෙරට ජනගහනයෙන් 17%ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ සඳහා ගත වූ කිසිඳු ආණ්ඩුවක් විධිමත් ක්‍රියාමාර්ගයක් නොගත් බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරයි.

ඊට අමතරව දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග හා පිළිකා වැනි රෝග ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත හා තොරතුරුවලට අනුව, වැඩි ම වකුගඩු රෝගින් පිරිසක් වාර්තා වෙන්නේ, බස්නාහි‍ර පළාතෙන් බව මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කරයි. එය රජරට වකුගඩු රෝගය ලෙස හැඳින්වීම වැරදි බව ද ඔහු සඳහන් කරයි.

රසායනික පොහොර පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ කතා කළ හිටපු ජනපති, අනුරාධපුර පිළිකා රෝහලේ පිළිකා රෝගින් විසි දහස ඉක්මවා ඇති බව හා වකුගඩු රෝගින් ද විසි දහස ඉක්ම වා ඇති බව හෙළිදරව් කළේය.

එම රෝගින් බොහෝ දෙනෙක් තරුණ තරුණයින් බව ද මෙම ගැටලුවලට ‍රජයක් වශයෙන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ද හෙතමෙ අවධාරණය කරයි.

දිවයින පුරා විසිරී සිටින වකුගඩු රෝගින් විශාල ප්‍රමාණයක් පොළොන්නරුව රෝහලට එන නමුදු, රෝහලට අවශ්‍ය ඇතැම් පහසුකම් ලබා දීමට රජය සමත් වී නැති බව ද ප්‍රකාශ කරයි.

මෙම රෝහලට අධ්‍යක්ෂවරයෙක් ද පත් කර නොමැති අතර, රෝහලේ පැවතිය යුතු රසායනාගාර පහසුකම්, සී.ටී. ස්කෑන් පහසුකම්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පහසුකම්, එක්ස් කිරණ ඒකකයක් නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *