අයවැයෙන් යෝජිත වැටුප් දීමනා වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි!

July 1, 2019 at 12:12 pm | by emanisa.lk

යෝජිත රාජ්‍ය සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ ත‍්‍රිවිධ හමුදා දීමනා වැඩිවීම අද (ජූලි 01) සිට ක‍්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ 2019 අයවැය මගින් මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම යෝජනා කර තිබිණි. මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 39,365 කට ආසන්න මුදලක් වෙන් කර ඇත.

මේ යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500 ක අන්තර් කාලීන දීමනාවක්, ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම සිදු කෙරේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 2,500ක අන්තර් කාලීන දීමනාවක් අද සිට හිමිවේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 20,000කි. මෙම අන්තර් දීමනාව අද සිට ක‍්‍රියාත්මක වුව ද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 7,800 ජීවන වියදම් දීමනාව එලෙසම තවදුරටත් ගෙවනු ලැබේ.

මේ අතර ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමේ තවත් පියවරක් අද සිට ක‍්‍රියාත්මක වේ. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරි මස සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව අද සිට ක‍්‍රියාත්මක වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. එසේම යුද, නාවුක හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ කමාන්ඩෝ දීමනාවද රුපියල් 1,000 සිට රුපියල් 5,000 දක්වා අද සිට ඉහළ නැංවේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 1,175 කි.

විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාවද අද සිට ක‍්‍රියාත්මකය. ඒ අනුව 2015 දෙසැම්බර් 31ට පෙර විශ‍්‍රාම ගිය ලක්ෂ 5ක් පමණ වන සියලූම විශ‍්‍රාමිකයන්ට මේ යටතේ රුපියල් 2,800 අවමයක සිට රුපියල් 20,000 උපරිමය දක්වා විශ‍්‍රාම වැටුප ඉහළ නැංවේ. මීට අමතරව විශ‍්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3,525 ජීවන වියදම් දීමනාව එලෙස ම තවදුරටත් ගෙවනු ලැබේ. මෙම විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 12,000 කි.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2,000 සිට 5,000 දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනාව ද අද සිට ක‍්‍රියාත්මකය. ඒ අනුව මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයන් 32,000ට අමතරව දීමනාව ලබා ගැනීමේ අරමුණෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් 40,000ක් ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000කට මෙම දීමනාව අද සිට හිමිවේ. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4350 කි.

නිධන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින 21,000ක පමණ වන පිරිසකට රජය මගින් දැනටමත් රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදෙනු ලබයි. තවත් විශාල පිරිසක් එම දීමනාව ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනගතව සිටින අතර ඉන් තවත් 5,000 ක පිරිසකට එම දීමනාව ලබා දීම ද අද සිට සිදු කෙරේ. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,840කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස