පළාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම පවත්වන ලෙසත් 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබාදෙන ලෙසත් රජයට බල කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් පවසයි.
අද (12) පැවති දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් පසුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
දෙමළ බස මව් භාෂාව කරගත් ජනතාව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් අද ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී රැස්වී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි අවසන් එකඟතා ලබන 21 වැනිදා රටට හෙළිකිරීමට අපේක්ෂිතය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මෙසේ ද පැවසීය.
“රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය ගැන අපි කනස්සල්ලෙන් හා පිළිකුලෙන් බලන් ඉන්නවා.නව ව්‍යවස්ථාවක් ගේන්න පොරොන්දු වුණා.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මැතිවරණයක් තියලා අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රියාත්මකවීම වැදගත්.
13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් අපේ ඉලක්කවලින් අපි ඉවත් වී නැහැ.”